විනිසුරුවරුන් කියන්නෙත් මනුෂ්‍යයෝ

- ඩිල්රෝයි ප්‍රනාන්දු ජාත්‍යන්තර රගර් විනිසුරු

■  ඔබේ පාසල් ජීවිතයෙන්ම ඔබ ගැන කතාව කියන්න?

මගේ තාත්තා කර්නල් ඩඞ්ලි ප්‍රනාන්දු 70 දශකයේ මුල රාජකාරි කටයුතුවල නියුක්ත වෙලා හිටියෙ යාපනේ. තාත්තා කොළඹ රාජකීය විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙක් වුණත් ඒ වනවිට තාත්තාගේ රැකියාවේ තිබුණ කාර්යබහුලකම නිසා මාව රාජකීය විද්‍යාලයට හෝ ඉසිපතන විද්‍යාලයට ඇතුළත් කරන්න බැරිවුණා. ඒ නිසා මහානාම විද්‍යාලයේ පළමුවැනි ශ්‍රේණියට ඇතුළත් කළා. මම දෙවැනි ශ්‍රේණියේ ඉඳන් තමයි ඉසිපතන විද්‍යාලයට ආවේ.

ඉසිපතනයට යාබදව තිබුණ හැව්ලොක් රගර් ක්‍රීඩාංගණය නිසාම වෙන්නැති අපේ විදුහලේ තිබුණේත් රගර් ක්‍රීඩාව හා බැඳුණු සංස්කෘතියක්. ලැබුණු හැම මොහොතකම අඹ ඇටයකින් හරි පාසල් වත්තෙ තිබුණ කෝන් ගහෙන් වැටෙන කෝටු කෑල්ලකින් හරි කළේ රගර් ගහපු එක. මම ඉස්සෙල්ලම ඉසිපතනෙට රගර් ක්‍රීඩා කළේ වයස අවු. 15න් පහළ. 15න් පහළයි, 17න් පහළයි මම නායකත්වය දැරුවා. විදුහලේ පළමුවැනි පෙළ සංචිතයට මම ඇතුළත් වුණේ වයස අවුරුදු 16දී. 1982දී පළමුවැනි පෙළ නායකත්වය දැරුවා. 1982දී ප්‍රථම වතාවට අපි අපරාජිත කණ්ඩායමක් බවට පත් වුණා.

1982දී ඉසිපතන පළමුවැනි පෙළ සංචිතයේ විසිතුනෙන් දොළොස් දෙනෙක් පමණ පළමු පෙළ ක්‍රීඩා සමාජවල ක්‍රීඩා කළා. ඉන් හය දෙනෙක් ජාතික කණ්ඩායම නියෝජනය කළා. ඉගෙනීමට අමතරව මම රගර් විතරක් නෙවෙයි ක්‍රිකට්, බාස්කට් බෝල්, ඇත්ලටික්, ස්විමිං කළා. ශිෂ්‍ය නායකයෙක් ලෙසත් ජූනියර් කෙඩෙට් කණ්ඩායමේ සාජන් ලෙසත් කටයුතු කළා. ඉස්කෝලෙ වේලාවෙන් පසු අපේ කාලසටහන වුණේ සවස 2.00ට කෙඩෙටින්, 3.30ට ක්‍රිකට්, 4.30ට රගර්.

■  80 දශකයේ ඉසිපතනයෙන් බිහි වූ රගර් ක්‍රීඩකයෝ හොඳින් දක්ෂතා පෙන්නුම් කර ජාතික කණ්ඩායමට ඇතුළත් වුණත්, හැව්ලොක් සහ [email protected] ක්‍රීඩා සමාජවල දොර විවර වුණේ රාජකීය, ශාන්ත තෝමස්, ත්‍රිත්ව වගේ පාසල්වලින් එන ක්‍රීඩකයන්ට?

ඔව්. ඔබ කිව්වා වගේ ඒකත් ප්‍රබල හා ප්‍රමුඛ කාරණයක් වුණා. නමුත්, ඉසිපතන රගර් කියන බ්‍රෑන්ඞ් එකට ටැකල් කරන්න තමයි, බොහෝ අය ට්‍රයි කළේ. පසුකාලීනව ඔවුන්ගේ පසුගාමී සමාජ ආකල්ප ඔවුන්ට වෙනස් කර ගන්න සිදු වුණා. පසුකාලීනව අපේ අයටත් දොර විවර වුණා.

ඒ නිසයි මම 1982 පාසල් තරග වාරය අවසානයත් සමඟම 1984දී ශ්‍රී ලංකා පිල නියෝජනය කරමින් ජපානයේ සංචාරයක යෙදුණේ. එතකොට දැන් වගේ නෙවෙයි, අවුරුදු දෙකකට වතාවක් තමයි ආසියානු රග්බි කුසලාන තරගාවලිය පවත්වන්නේ. 1986දී මම රගර් ක්‍රීඩකයකුගේ භූමිකාවෙන් සමුගත්තා.

■  ඔබ රගර් විනිසුරුවරයෙක් වශයෙන් අවතීර්ණ වන්නේ කොහොම ද, පසුව ද?

ඔව්, ඊට පස්සේ හැව්ලොක් සහ [email protected] ක්‍රීඩා සමාජවලින් මට ආරාධනා කළා ඒ ක්‍රීඩා සමාජවලට රගර් ක්‍රීඩා කරන්න. ඒත් මං තීරණය කළා ඒ ක්‍රීඩා සමාජ දෙකටම සම්බන්ධ නොවී මා ඉගෙන ගත්ත පාසලේ රගර් පුහුණුවීම් දිනවල පාසලට යන්න. එහි දී මට ආශාව ඇති වුණේ, පුහුණුකරුවෙක් වෙන්න නෙවෙයි තරඟ විනිශ්චය කරන්න.

ඒ වෙන කොට රගර් තරග විනිසුරුවන් වශයෙන් ඉසිපතනෙන් බිහි වෙලා හිටියේ, අපේ පළමුවැනි රගර් නායකයා වූ ආනා සරණපාල මහතාත්, මහින්ද ජයවර්ධන සහ විමල් සේනානායක යන මහත්වරුනුත් පමණයි.

මම කළේ විසිල් එක අරගෙන පුහුණු වීම් කරන අපේ ළමයින්ව විනිශ්චය කරන එකයි. ඒ කාලේ පාසල්වල කනිෂ්ඨ තරග විනිශ්චය කරන්න රග්බි විනිසුරුවන්ගෙ සංගමයෙන් විනිසුරුවෝ එවන්නෙ නෑ. ඉසිපතන කනිෂ්ඨ තරග සියල්ලම විනිශ්චය කළේ මම. මම තරග විනිශ්චය කරනවා දැකපු රාජකීය විද්‍යාලයේ මහේෂ් රොඞ්රිගෝ

සහ කළුආරච්චි යන මහත්වරුත්, ත්‍රිත්ව විද්‍යාලයේ අජිත් අබේරත්න මහතාත් මට සුබවාදී යහපත් විවේචන කරලා මාව දිරිගන්වලා මට සුබ පැතුවා.

මම 1990දී විනිශ්චයකරුවන්ගේ සංගමයට අයදුම් පත්‍රයක් දැම්මා සාමාජිකයෙක් ලෙස ලියාපදිංචිවීමට. ඒක ප්‍රතික්ෂේප කළා. 1991දී නැවත වතාවක් අයදුම් පත්‍රයක් දැම්මා. ඒ වතාවේ මගේ උත්සාහය සාර්ථක වුණා. 1991 ඉඳන් මට පළමු පෙළ ක්‍රීඩා සමාජ තරගයි, පාසල් තරගයි දෙකම විනිශ්චය කරන්න බලපත්‍රය ලැබුණා.

■  ඔබ තමයි ශ්‍රී ලංකාවෙන් බිහි වූ ප්‍රථම ජාත්‍යන්තර රග්බි විනිසුරුවරයා?

ඔව්. මට කියන්න හරිම සතුටුයි, ඒ අභිමානය මගේ පාසල වූ ඉසිපතනයටත්, රටටත් ලැබුණු දෙයක්. ආසියානු කුසලාන තරගාවලියේ අවසාන මහ තරගය වූ ජපානය සහ දකුණු කොරියාව අතර තරගය විනිශ්චය කරන්න අවස්ථාව මට උදා වුණා. ඩුබායිවල තිබුණු සත් සාමාජික රග්බි ලෝක කුසලානයේ සහාය විනිශ්චයකරුවෙක් විදිහට කටයුතු කළා. 1998 පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උලෙළේ රන් කුසලාන සඳහා ෆීජි සහ නවසීලන්තය අතර අවසාන මහා තරගයේ දී සහාය විනිසුරුවකු වශයෙන් කටයුතු කළා. ඒ තරගයේ ෆීජි දූපත්වල වයිසාල් සෙලරි සහ නවසීලන්තයේ ජෝනා ලෝමු වගේ ලෝක ප්‍රසිද්ධ ක්‍රීඩකයෝ ක්‍රීඩා කළා.

ඒ වගේම ජාත්‍යන්තර තරග විසිපහකට වඩා විනිශ්චය කළා. මට මේ අවස්ථාවේ අමතක කරන්නම බැරි නමක් තමයි, ජාතික කණ්ඩායම නියෝජනය කළ රොජර් රොඞ්රිගෝ. ඔහු 1998 ඩුබායිවල රැකියාව කරන කාලයේ දී එහේ පැවැත්වෙන ක්‍රීඩා සමාජ තරග විනිශ්චය කරන්න අවස්ථාව සලසලා දුන්නා. ඒ නිසා මට බොහෝ අත්දැකීම් එකතු වුණා.

දේශීය වශයෙන් ක්‍රීඩා සමාජ තරගාවලි කුසලාන අවසාන මහා තරග වැඩි ප්‍රමාණයක් මා විනිශ්චය කළා. ‘බ්‍රැඞ්බි’ කුසලානය සඳහා පවත්වන රාජකීය – ත්‍රිත්ව රගර් තරග විසිතුනක් මා විනිශ්චය කළා.

■  වර්තමානය වන විට රග්බි විනිසුරුවරයා කියන භූමිකාව විවාදපන්න මාතෘකාවක් වෙලා තිබෙනවා. බොහෝ විනිසුරන්ගේ හා ඔවුන්ට සහාය දක්වන පැති විනිසුරන්ගේ තීන්දු තීරණ පිළිබඳව විශේෂයෙන් පාසල් රග්බි තරගවල දී ඇතැම් පාසල් සම්බන්ධයෙන් දෙන තීන්දු පක්ෂපාතී බවට නරඹන්නන්ගෙන් චෝදනා නැඟෙනවා?

කුමන ආකාරයෙන් බැලු‍වත් විනිසුරුවරුන් කියන්නෙත් මනුෂ්‍යයෝ. ඔහුට හෝ ඇයට තියුණු ඇස් දෙකක් හොඳ ඉවක් තිබිය යුතුයි. මොන යම් හෝ බලපෑමක් මත ඔවුන් කිසිදු පැත්තක් නොගෙන ස්වාධීනව තරග විනිශ්චය කළ යුතුයි. එතකොට තමයි, ක්‍රීඩකයන්ගේ සහ නරඹන්නන්ගේ විශ්වාසය ඔවුන් කෙරෙහි ඇති වන්නේ.

ඇතැම් තීන්දුවක් හිතාමතා සැලසුම් කරලා දෙන තීන්දුවක් නොවෙන්න පුළුවන්. ඒත් හිතාමතා ද්වේශසහගතව දෙන තීන්දු රගර් ක්‍රීඩාවට විතරක් නොවේ සියලු‍ ම ක්‍රීඩාවලට හානිකරයි. වැදගත්ම දේ විනිසුරුවරයා ඥාති හිතමිත්‍ර සබඳතා මත විනිශ්චය නොකළ යුතුයි. තරගයක දී දෙන වැරදි තීන්දුවක් ක්‍රීඩාවේ ප්‍රගමනයටත් බාධාවක්. අවාසනාවකට අද ඇති වෙලා තිබෙන්නේ එවැනි තත්ත්වයක්.

මේ නිසා මගේ යෝජනාව වන්නේ වඩා නිවැරදිව, අපක්ෂපාතීව තරග විනිශ්චය කරන විනිශ්චයකරුවන් දිරිගන්වන අතර හිතාමතා වැරදි තීන්දු දෙන විනිසුරන්ට ගෙවන මුදලින් දඩ මුලක් අය කර ගත යුතුයි. ඒ වගේම ක්‍රීඩකයෝ සහ නරඹන්නෝ නීතිය අතට ගෙන ක්‍රියා නොකළ යුතුයි. ඒ වගේම තාත්තලා පුතුන් රකින විනිශ්චයන් නොකර රගර් විනිසුරුවකුගේ ගෞරවය සහ පෞරුෂය රැකෙන පරිදි තරඟ විනිශ්චය කළ යුතුයි●

 

සංවාදය සරත්චන්ද්‍ර වල්පොල

Leave A Reply

Your email address will not be published.

four + 1 =