COPE ගැන HOPE ඉවර ද?

රාජ්‍ය ව්‍යවසායයන් වෙනුවෙන් මුදල් වෙන් කිරීම වාර්ෂිකව අයවැය වාර්තාව මඟින් සිදු කෙරෙන අතර, මෙම මුදල් එකී රාජ්‍ය ව්‍යවසායයන් මඟින් අපේක්ෂිත අරමුණු වෙනුවෙන් වියදම් කරනවා ද, අපේක්ෂිත අරමුණු ළඟා කර ගන්නේ ද යන්න සොයාබැලීමට පාර්ලිමේන්තුවට අයිතියක් ඇත. ඒ එම මුදල් වාර්ෂිකව අයවැය වාර්තාවක් මඟින් අනුමත කරන්නේ පාර්ලිමේන්තුව නිසා ය.
එසේම එම වගකීමට සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 148 වැනි වගන්තිය ප්‍රකාරව බැඳී සිටිති. ඒ අනුව රාජ්‍ය සංස්ථා සහ අර්ධ රාජ්‍ය ආයතනවල මූල්‍ය විනය පවත්වාගෙන යාම සහතික කිරීම සඳහා පාර්ලිමේන්තුවේම සම්මත කරන ලද නීතියක් යටතේ සංස්ථාවක හෝ ඕනෑම ව්‍යාපාරයක ගිණුම් පරීක්ෂා කිරීම සඳහා 1979 ජුනි 21දා පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (කෝප්) ස්ථාපනය කරන ලදී. අමාත්‍යාංශ හා රාජ්‍ය දෙපාර්තමේන්තු හැර රාජ්‍ය ආයතන 244ක් පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ විෂයපථයට අයත් වේ. එමෙන්ම අද වන විට සමාගම් නීතිය යටතේ ලියාපදිංචි වී තිබෙන රජය සතු සමාගම්වල සුපරීක්ෂාව පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව යටතට ගෙන තිබේ.
මේ නිසා කෝප් කමිටුව යනු ජනතා පරමාධිපත්‍යයේ තවත් සුවිශේෂී ව්‍යුහයක් වන අතර, එමඟින් ඉහත කී කටයුතු සිදු කරනු ඇතැයි මේ වන විට ජනතාව තුළ බලාපොරොත්තුවක් ද පවතියි. ජනතාව තුළ එවැනි බලාපොරොත්තුවක් ඇති වීමට ප්‍රධාන හේතුවක් වූයේ පසුගිය වසර කිහිපය තුළ විශාල මූල්‍ය වංචා ප්‍රමාණයක් රටට හෙළිදරවු කිරීමට කෝප් කමිටුව සිදු කළ විශේෂ මැදිහත් වීමයි. ඒ අනුව එතෙක් වැඩි අවධානයකට ලක් නොවී තිබුණු කෝප් කමිටුව වේගයෙන් ජනගත වීමට අදාළ වූ පළමු සිදුවීම වූයේ මේ වන විට මහ බැංකු කොල්ලය ලෙස ප්‍රකට වී තිබෙන මහ බැංකු බැඳුම්කර වංචාව රටට හෙළිදරවු කිරීමයි.
ඒ වන විටත් බලයට පැමිණ කෙටි කාලයක් ගතව තිබූ රනිල් – මෛත්‍රී හවුල් ආණ්ඩුව යටතේ මහ බැංකුවේ අධිපති වශයෙන් පත් කරනු ලැබූ අර්ජුන් මහේන්ද්‍රන්ගේ සෘජු මැදිහත් වීම යටතේ, එවකට අගමැති රනිල් වික්‍රමසිංහගේ ද අනුදැනුම පිට සිදු කරනු ලැබූ මෙම මහා මූල්‍ය වංචාව කෝප් කමිටුව විසින් හෙළි කර ගනු ලබන්නේ, වංචාව සිදු කර මාසයක් ගත වන්නටත් ප්‍රථමයෙනි.
එවකට ආණ්ඩුව කර වූ එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ කණ්ඩායම රුපියල් බිලියන 11කට අධික වංචාවක් සිදු කළ අර්ජුන් මහේන්ද්‍රන් සහ ඔහුගේ බෑනා ඇතුළු කණ්ඩායම ආරක්ෂා කිරීම වෙනුවෙන් කෝප් කමිටුවේ නිර්දේශවලට පාද සටහන් එක් කරද්දී, වෝහාරික විගණනයකින් වගකිවයුත්තන්ට දඬුවම් ලබා දීමට නිර්දේශ කිරීම දක්වා කෝප් කමිටුව සිය මැදිහත් වීම සිදු කරනු ලැබී ය. එහෙත්, කෝප් කමිටු සාමාජිකයන් බොහෝ දෙනකුට මෙම වංචාවේ චූදිතයකු වූ අර්ජුන් ඇලෝසියස්ගෙන් දුරකථන ඇමතුම් පමණක් නොව තවත් වරප්‍රසාද, වරදාන රැසක් ලැබී තිබෙන බව පසුව අනාවරණය වූයේ වාර්තාවට පාද සටහන් යෙදූ කෝප් කමිටු සාමාජිකයන්ගේ අල ගිය මුල ගිය තැන් බොහොමයක් ද නිරාවරණය කරමිනි.
කෝප් කමිටුවේ තවත් ප්‍රමුඛ අනාවරණයක් බවට පත් වූ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සම්බන්ධයෙන් කෝප් කමිටුව විසින් සිදු කරන ලද පරීක්ෂණයෙන් පසුගිය වසර කිහිපය තුළ එහි සිදුව ඇති සැකසහිත ගනුදෙනු රැසක් පිළිබඳ තොරතුරු රට හමුවට පැමිණියේ ය. එම කරුණු අතර 2014 වසරේ දී එක්දින තරග 13ක් හා ටෙස්ට් තරග 4ක් සඳහා රුපියල් මිලියන 75ක ප්‍රවේශ පත් අලෙවි කරද් දී, ඉන් මිලියන 45ක වටිනාකමින් යුත් ප්‍රවේශ පත් තොගයක් නොමිලේ ලබා දීමේ සිද්ධියක් ගැන ද හෙළිව තිබේ.
එම වසරේ දී ‘ශ්‍රී ලංකා ක්‍රිකට්’ රුපියල් මිලියන 393ක පාඩු ලබා සිටිය දී ද, එහි සේවකයන්ට උත්සව දීමනා ලබා දී ඇති බවත්, කොන්ත්‍රාත් සේවකයන්ට රුපියල් පන්දහසේ සිට රුපියල් 86,250.00ක් දක්වා වැටුප් වර්ධක ලබා දී ඇති බව ද අනාවරණය වී තිබේ. ක්‍රිකට් ආයතනයට නොමිලේ නීතිපතිගේ සේවය ලබා ගැනීමේ හැකියාව පවතිද් දී, පෞද්ගලික නීති සේවා ලබා ගැනීමට විශාල පිරිවැයක් දරා ඇති බවත්, විමර්ශනයට ලක් කළ දින සිට ආසන්න දස වසර තුළ පමණක් එම ආයතනය විසින් පෞද්ගලික නීතිඥ සමාගම් සඳහා රුපියල් මිලියන 124ක් පමණ වැය කර ඇති බවත් මේ අතර හෙළිව ඇත. මහනුවර ක්‍රිකට් විශ්වවිද්‍යාලයක් ඉදි කිරීම වෙනුවෙන් වසර තිහකට ඉඩමක් බදු ගැනීම සඳහා මල්වතු නාහිමියන්ට අල්ලසක් වශයෙන් රුපියල් මිලියන 25ක් ‘ක්‍රිකට් ඒඞ්’ හරහා ලබා දීමට ගත් උත්සාහයක් උන්වහන්සේ විසින් ප්‍රතික්ෂේප කළ බව ද මෙහි දී අනාවරණය විය.
‘ක්‍රිකට් ඒඞ්’ ආයතනය සම්බන්ධයෙන් තොරතුරු හෙළි කරනු ලැබූයේ ද කෝප් කමිටුව විසිනි. ක්‍රිකට් ඒඞ් ආයතනයේ අක්‍රමිකතා රැසක් පිළිබඳ මෙහි දී අවධානයට යොමු වූ අතර, එහි දී ක්‍රිකට් ඒඞ් ලියාපදිංචි කිරීමට පෙර සිටම එකී සමාගමේ කළමනාකරු වැටුප් ලබාගෙන ඇති බවත්, එකී කළමනාකරුට රුපියල් ලක්ෂ 39ක වැටුප් ගෙවා ඇතත්, ක්‍රිකට් ඒඞ් සමාගම ආදායම් ලෙස එකී කාලයේ උපයාගෙන ඇත්තේ රුපියල් ලක්ෂ 24ක් බවත් එහි දී හෙළි විය.
ඉන් පසුව දැඩි කතාබහකට ලක් වූ සූරියවැව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය ඉදි කිරීමේ දී සිදු කරන ලද දැවැන්ත මූල්‍ය වංචාව ද කෝප් කමිටුවේ විමර්ශනවල දී අනාවරණය වූවකි. එහි දී හෙළි වූයේ රුපියල් බිලියන පහකට වැඩි මුදලක් එම ක්‍රීඩාංගණය ඉදි කිරීම සඳහා වෙන් කළ ද, එහි තක්සේරු වටිනාකම ලෙස රුපියල් මිලියන 900ක් (බිලියන 0.9ක්) පමණක් සඳහන්ව ඇති බවයි. ඒ අනුව රුපියල් මිලියන 4,100ක් පමණ මුදලක් වැඩිපුර ලබාගෙන තිබෙන ඇති බව තහවුරු විය.
ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල වෙනුවෙන් වාර්ෂිකව රජයෙන් වෙන් කෙරෙන මුදලින් රුපියල් මිලියන 5,666ක මුදලක් විශ්වවිද්‍යාල 15ක් විසින් ප්‍රයෝජනයට ගැනීමෙන් තොරව බැංකු ගිණුම් 794ක පවත්වාගෙන ගොස් ඇති බවත්, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වෙත බදු ගෙවන්නන් විසින් ඉදිරිපත් කර තිබු චෙක් පත්වලින් චෙක් පත් 7,728ක් අගරු වී ඇති බවත් කෝප් කමිටුව හමුවේ හෙළි වූ අතර, ජනවසමට අයත් කොළඹ ඉඩම් කුණුකොල්ලයට ලබා දීම, ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සිදුව ඇති අක්‍රමිකතා, ටෙලිකොම් ආයතනයේ සිදුව ඇති වංචා මෙන්ම තනතුරුවලට නුසුදුස්සන් පත් කිරීම, ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය, ලංකාපුත්‍ර බැංකුව, ජාතික චිත්‍රපටි සංස්ථාව ආදිය විසින් කරන ලද මුදල් අවභාවිතය පිළිබඳව ද තොරතුරු අනාවරණය වූයේ ද කෝප් කමිටුව විසින් කරන ලද විමර්ශනවල ප්‍රතිඵල වශයෙනි.
මේ කෝප් කමිටුව විසින් සිදු කරනු ලැබූ විමර්ශන කිහිපයක තොරතුරු පමණි. තවත් විමර්ශන ගණනාවක් පිළිබඳ තොරතුරු විටින්විට මාධ්‍ය මඟින් වාර්තා කරනු ලැබී ය.
මෙසේ එම තොරතුරු මාධ්‍ය මඟින් ජනතාව වෙත වාර්තා වීමට අදාළ වැදගත් පියවරක් වූයේ කෝප් කමිටුව මාධ්‍යයට විවෘත කිරීමයි. ඒ අනුව ශ්‍රී ලංකා පාර්ලිමේන්තු ඉතිහාසයේ ප්‍රථම වරට 2019 අගෝස්තු මස 09 වන දින සිට කෝප් කමිටුව මාධ්‍යයට විවෘත කෙරිණි.
මෙවැනි සාධනීය කටයුතු
රැසක්ම කෝප් කමිටුව හරහා සිදු වන විට එහි සභාපතිත්වය හිමිව තිබුණේ පාර්ලිමේන්තුවේ විපක්ෂය වෙත ය. එහෙත්, මේ වන විට නැවතත් ඒ සියල්ල ආපසු හරවමින් සභාපතිත්වයට ආණ්ඩු පක්ෂයේම අයකු පත් කරමින්, මාධ්‍ය සඳහා තිබූ ඉඩකඩ ද අවහිර කර තිබේ.
යෝජිත විසි වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය විසින් කෝප් කමිටුව වෙත තවත් විශේෂිත බලපෑමක් සිදු කර ඇත්තේ, විගණන කොමිසම අහෝසි කිරීමට එමඟින් කර ඇති යෝජනාව හරහා ය. විගණන කොමිසම අහෝසි කිරීම හරහා රාජ්‍ය සමාගම් විගණනය කිරීමට විගණකාධිපතිවරයාට ඇති බලය අහෝසි වී යන අතර, එමඟින්
රාජ්‍ය සමාගම් පාර්ලිමේන්තුවට කැඳවීමට ඇති බලය ද අහෝසි වී යයි. ඒ අනුව එම බලය කෝප් කමිටුවට ද අහිමි වී යයි. ඒ අනුව ශ්‍රී ලංකන් ගුවන් සමාගම, ශ්‍රී ලංකා ටෙලිකොම්, ලංකා ට්‍රාන්ස්ෆෝමර්ස් වැනි ආයතන, වැවිලි සමාගම් විශාල ප්‍රමාණයක් ඇතුළු රාජ්‍ය සමාගම් පිළිබඳ මැදිහත් වීමට කෝප් කමිටුවට ඇති හැකියාව විසි වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක වුවහොත්, අහිමි වී යනු ඇත. එසේම ප්‍රසම්පාදන කොමිසම අහෝසිවීම නිසා ද කෝප් කමිටුවේ නිරීක්ෂණවලට සහ කාර්යසාධන විගණන සිදු කිරීමට ද බාධා එල්ල කර තිබේ.
මේ වන විට කමිටුවේ නව සභාපතිවරයා වශයෙන් පත් කර ඇත්තේ ද මෙවර පළමුවරට පාර්ලිමේන්තුවට පත්ව ආ මන්ත්‍රීවරයෙකි. පාර්ලිමේන්තුවේ ස්ථාවර විශේෂ කාරක සභාවක් වන කෝප් කමිටුව වැනි මූලික කමිටුවක කටයුතු නිසි පරිදි පවත්වාගෙන යාම සඳහා අත්දැකීම් සහිත මන්ත්‍රීවරයකු පත් කර ගැනීම වැදගත් වන්නේ රාජ්‍ය මූල්‍ය පාලනය සහ පාර්ලිමේන්තුවේ ක්‍රියාවලිය සම්බන්ධ මනා අවබෝධයක් ඊට තිබිය යුතු නිසා ය.
ඒ අනුව කෝප් කමිටුව ආණ්ඩු පක්ෂය අතට ගැනීමත්, එයට නවක මන්ත්‍රීවරයකු පත් කිරීමත්, කමිටුවේ කටයුතු මාධ්‍යයෙන් වසන් කිරීමත් විසි වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හරහා කමිටුවට ඇති බලතල සීමා කිරීමත් එකපෙළට තැබූ විට ‘ගොනා හැරෙන්නේ පොල් පැළේට’ නොවේ දැයි සැකයක් ඇති වීම වැළැක්විය නොහැකි ය●
-චතුර දිසානායක

 

Leave A Reply

Your email address will not be published.

fourteen + six =