බූවැලිකඩින් එළියට ආ නීතියේ තවත් අපරාධයක් !

 

මහනුවර, බූවැලිකඩ සංඝමිත්තා මාවතේ පස්මහල් ගොඩනැගිල්ල කඩාවැටීමේ සිද්ධිය යටගැසීමේ හෝ කරුණු වෙනස් කිරීමේ හෝ උත්සාහයක් පවතින බවට ප්‍රදේශවාසීහු චෝදනා කරති.
මහනුවර හිටපු බස්නායක නිලමේවරයකු වන ලෙව්කේ බණ්ඩාරට අයත් බව තහවුරු වී ඇති මෙම පස්මහල් ගොඩනැගිල්ල  පසුගිය 20දා අලුයම කඩාවැටිණි. එම ගොඩනැගිල්ල කඩාවැටීමෙන්, ඒ අසල පිහිටි නිවසේ නිඳා සිටි තරුණ යුවළකට සහ ඔවුන්ගේ මාස දෙකක් වයසැති බිළිඳාට ජීවිතය අහිමි විය.

ගොඩනැගිල්ල කඩාවැටීමට පෙර එහි හිමිකරු ඇතුළු පිරිසක් අනතුර දැනගෙන එයින් ඉවත් වී ඇතත්, අසල නිවාසවල පදිංචිව සිටි කිසිවකුට අනතුරු අඟවා නැති බවට ප්‍රදේශවාසීහු චෝදනා කර සිටිති. තමන් සතු දේශපාලන සහ මුදල් බලය භාවිත කරමින් සිද්ධිය යටගැසීමට ගොඩනැගිල්ලේ හිමිකරු වන දොඩන්වල දේවාලයේ හිටපු බස්නායක නිලමේවරයකු වන අනුර ලෙව්කේ ඇතුළු වගකිවයුත්තන් උත්සාහ කරමින් සිටින බව ද අනාවරණය වේ.

මෙම ගොඩනැගිල්ල ඉදි කර ඇත්තේ ඇළ මාර්ගයක් හරස් කරමින් ය. ඊට අදාළ විධිමත් අනුමැතීන් හෝ ලබාගෙන නැත. මේ හේතුවෙන් ප්‍රදේශවාසීන් අදාළ වගකිවයුත්තන් සමග විරසකව සිට ඇත. එහෙත්, ඔවුන්ගේ දේශපාලන සහ මුදල් බලය හේතුවෙන් ඒ විරසකකම් එහිම යටපත්ව තිබී ඇත.
ඇළ මාර්ගයක මෙවැනි ගොඩනැගිල්ලක් ඉදි කර තිබීම සම්බන්ධයෙන් කළ විමසීමක දී ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ මහනුවර දිස්ත්‍රික්කය භාර භූ විද්‍යාඥ සමන්ත එගොඩපිටිය පැවසුවේ, සෑම දිසාවකින්ම ජලය බැස යන නිම්නයක මෙය ඉදි කර ඇති බවයි.

“හැම පැත්තෙන්ම වගේ මෙතැනට වතුර එනවා. එතැන තමයි මේ ගේ හදලා තියෙන්නෙ. ඒ ගේ ළඟින් කාණුවක් යනවා. බෝක්කුව තියෙන්නෙත් ගේ ළඟමයි. එතැනින් තමයි වතුර ගලන්නෙ. ගෙයි එක පැත්තකින් කාණුවකින් වතුර බහිනවා. එතකොට අත්තිවාරම බුරුල් වෙලා ගැලවෙන්න ඉඩක් තියෙනවා. මිනිස්සුත් කිව්වා, එතැන ඇළක් හරස් වෙලා කියලා. නමුත්, දැන් ඒක හොයන්න බෑ. කඩාවැටුණු ගොඩනැගිල්ලේ සුන්බුන්වලට වැහිලා.” එගොඩපිටිය එසේ අවධාරණය කරයි.

මේ අතර මෙම ගොඩනැගිල්ල නිම කර ඇත්තේ, ජලය ගලා ගිය කඳුරක් අවහිර වන සේ බව ද, මේ හේතුවෙන් දීර්ඝ කාලයක සිට ජලය ගලා යාම අවහිර වී තිබෙන්නට ඇති බව ද පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ භූගර්භ විද්‍යාව පිළිබඳ මහාචාර්ය අතුල සේනාරත්න මේ සිද්ධිය පිළිබඳව අදහස් දක්වමින් සඳහන් කරයි.
ගොඩනැගිල්ල කඩාවැටීමට පෙර එහි සිටි සියලු දෙනා ඉන් ඉවත් වී, නිවසේ තිබූ භාණ්ඩ ද ඉවත් කරගෙන ඇති බවත්, කඩාවැටී ඇත්තේ, හිස් ගොඩනැගිල්ලක් බවත් ඒ අසල පදිංචිකරුවෝ පවසති. මේ ආකාරයට බැලූ විට මෙය චේතනාන්විතව කළ දෙයක් ලෙස හැඳින්විය හැකි බවත්, නිකමට හෝ මෙවැනි අනතුරක් ඇති බවට ප්‍රදේශයේ අනෙකුත් පදිංචිකරුවන් දැනුම්වත් කළේ නම්, ජීවිත බේරා ගැනීමට හැකියාව තිබූ බවත් ඔවුහු අවධාරණය කරති.

ප්‍රදේශවාසීන් පෙන්වා දෙන්නේ, මෙම ගොඩනැගිල්ලේ හිමිකරුගේ සහෝදරයකු පොලිසියේ හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයකු බවත්, එම සම්බන්ධතා යොදා ගනිමින් සිද්ධිය යටගැසීමේ උත්සාහයක යෙදී සිටින බව පැහැදිලි කරුණක් බවත් ය. මෙතෙක් සිද්ධියට අදාළ පාර්ශ්වවලට එරෙහිව කිසිදු නීතිමය කටයුත්තක් සිදු වී නැති බවත්, අසල නිවාසවල සවි කර ඇති සී.සී.ටී.වී. දර්ශන හෝ පොලිසිය පරීක්ෂා කර නැති බවත් පසුගිය අඟහරුවාදා ප්‍රදේශවාසීහු පෙන්වා දුන්හ.
මෙම ගොඩනැඟිල්ල ඉදි කර ඇති භූමිය මෙන්ම ගොඩනැගිල්ල ඉදිකර ඇති ආකාරය ද බරපතළ ගැටලුසහගත ය. මෙය අස්ථාවර භූමියකට ගැළපෙන ආකාරයට ස්ථාවරව ඉදිකර නැති බවත්, කම්බි සහ කොන්ක්‍රීට් පවා ප්‍රමාණවත් පරිදි යොදා නැති බව තහවුරු වන බවත් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පෙන්වා දෙයි.

“මේක හදලා තියෙන්නෙ නිම්නයක. ඒ වගේ තැනක භූමිය අස්ථාවරයි. බෑවුමක් සහ නිතරම වතුර ගලාගෙන යන තැනක් කියන්නෙ තවත් අස්ථාවරයි. ඒ භූමියට ගැළපෙන්න ගැඹුරට කනු දාලා, ස්ථාවර විදිහට මේක හදලා නෑ. හදන්න කලින් කිසිම සොයාබැලීමක් කරලා නැති බවයි පේන්නෙ. මේ වගේ තැනක පිහිටි ගල සමඟ සම්බන්ධ වෙන්න ඉදි කිරීම් කරන්න ඕනෙ. මේක හදලා තියෙන්නෙ එහෙම නෙමෙයි. උඩ පස් ස්ථරයක තමයි අත්තිවාරම තියෙන්නෙ.”

මේ චෝදනාවලට පිළිතුරු දෙමින්, අදාළ ගොඩනැගිල්ලේ හිමිකරු වන අනුර ලෙව්කේ මෙසේ පවසයි :
“මගේ දුව මේ පාර උසස් පෙළ විභාගයට පෙනී ඉන්නවා. එයා පාන්දර එකහමාර වෙනකම් පාඩම් කළා. අපිත් ඒ වෙනකම් ඇහැරිලා හිටියෙ. එකහමාරට කට්ටියම
නිදාගන්න ගියා. පාන්දර හතරට වගේ අපිට ඇහුණා, දඩස් දඩස් ගාලා සද්ද. අල්ලපු ගෙදර සමරසිංහ කිව්වා, ඔයාගෙ ගේ පුපුරනවා කියලා. ඒක කියපු ගමන්ම කට්ටියම එළියට එන්න හැදුවට එළියට එන්න බෑ, ගේ ඇතුළෙ ටයිල් ඔක්කොම ඉස්සිලා. අපි කොහොම හරි එළියට පැනලා, පාරට පැන්නා. ඒ වෙලාවෙ වැස්ස. අපි වාහනේට නැග්ගා. නැඟලා කෙළින්ම ඉස්සරහ ගෙදරට ආවා.”
ගොඩනැගිල්ලේ ප්‍රමිතිය පිළිබඳව ද ඔහු සතුව පිළිතුරු ඇත.
“මේක නිසි ප්‍රමිතියට හදලා තියෙන්නෙ. ඉංජිනේරු කෝපරේෂන් එකෙන් කම්බිවලට පවා සම්පූර්ණ අනුමැතිය ලබාගෙන තිබුණෙ.”

අනුර ලෙව්කේගේ බිරිඳ මෙසේ කියයි :
“අපි මේක හැදුවෙ දෙදාස්හයේ. ගන්න ඕනෙ හැම අනුමැතියක්ම අපි ගත්තා. බොරු චෝදනා කරන එක ගැන හරිම දුකයි. අපි එළියට ආවෙ හැඳුනුම් පතක්වත් නැතුව රෑ නිඳාගෙන හිටපු ඇඳුම පිටින්. ගේ නැති වුණාට වඩා අසල්වැසියන්ට වුණු විපත්තිය ගැන හරිම දුකයි.”
තාත්තා සහ අම්මා එසේ කියද්දී, ලෙව්කේ පුතා කියන්නේ මෙවැන්නකි :
“මගේ ඇඳ හෙල්ලිලා මට ඇහැරුණා. බල්ලො බුරනවා ඇහුණා. මම අම්මට කෝල් කරලා කිව්වා, හොරෙක් ඇවිල්ල ද කියලා. අම්මටත් සද්ද ඇහිලා බැල්කනියට ගිහින් බලලා. ඒ වෙලාවෙ එහා ගෙදර සමරසිංහ අන්කල් අපේ ගෙදරට ටෝච් ගහලා, අම්මට කියලා මිසිස් ලෙව්කේ ඔයාලගෙ ගේ පුපුරනවා කියලා. ඒ වෙලාවෙම තමයි, මම කෝල් කරලා තියෙන්නෙ. අම්මා අප්පච්චිවයි, නංගිවයි ඇහැරවගෙන උඩට ආවා.
“රෝලර් ගේට් එක ඇරුණා. ඒක කොහොම වුණා ද දන්නෙ නෑ. ප්ලෑන් කරලා වුණු දේවල් නෙමෙයි. හොඳටම වහිනවා. එළියෙ ඉන්න බෑ. කට්ටියම වාහනේට දා ගත්තා. එතකොටත් පාරයි, ගරාජ් එකයි අතරෙ අඟල් තුන-හතරක පරතරයක් හැදිලා. වාහනේ අරන් මම ලේක් ක්ලබ් එක පැත්තට ගියා. එතැනින් හරවගෙන යන ගමනුත් මගෙ කෝල් ලොග් එකේ දැනටත් තියෙනවා, මම පොලිසියට කෝල් කරලා තියෙන්නෙ හරියට පහට. එකසිය දහනවය නෙමෙයි, දෙකේ ඒවා අටේ මහනුවර පොලිසියේ නම්බර් එක ඔළුවට ආවෙ.
“අපි මේ ගෙට හැම අනුමැතියක්ම අරන් තියෙන්නෙ. දැන් ඒ කිසිම දෙයක් ගන්න බෑ. ඔක්කොම යටවෙලා තියෙන්නෙ.”
මේ පවුලේම කතා ලිව්වේ, ඔවුන්ගේ කතා එකිනෙකට පරස්පර වීමේ ගැටලුව ගැන කියන්නට ය. අනුර ලෙව්කේ කියන්නේ, අසල නිවසේ සමරසිංහ ඔහුට කතා කළ බවකි. පුතා කියන්නේ අම්මාට ඒ පණිවිඩය ලැබුණු බවකි. අම්මා විසින් පියා සහ නැඟණිය අවදි කළ බව ද පුතා කියයි.
අනුර ලෙව්කේ කියන්නේ, තමන් සහ පවුලේ අය වාහනයේ නැඟී ඉදිරිපස නිවසට ගිය බවයි. පුතා කියන්නේ, ලේක් ක්ලබ් පැත්තට ගිය බවයි. ඔවුන් පොලිසියට ලබා දුන් ප්‍රකාශවල කුමක් සඳහන් කර තිබුණ ද, මාධ්‍යවලට පැවසූ කරුණු අතර මෙසේ බරපතළ පරස්පරතා තිබේ. එය බරපතළ තත්ත්වයක් බව ප්‍රදේශවාසීන්ගේ අදහසයි.
සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දක්වන පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න පවසන්නේ, ගොඩනැගිල්ල ඉදි කිරීමේ දී නිසි පරිදි අනුමැතිය ලබාගෙන නොමැති බව තහවුරු වුවහොත්, අපරාධ නීතිය යටතේ අදාළ වගකිවයුත්තන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බවයි. එසේම ගොඩනැගිල්ල කඩාවැටීමේ අනතුරක් ඇති බවට අසල්වැසියන් දැනුම්වත් කිරීමේ සදාචාරාත්මක යුතුකමක් ඔවුන්ට තිබූ බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පෙන්වා දෙයි. කෙසේ වෙතත්, මේ සිද්ධිය සම්බන්ධයෙන් මහනුවර මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර ඇති බව ද ඔහු සඳහන් කළේ ය.
මහනුවර, බූවැලිකඩ සිද්ධියේ සමස්ත කතාව මෙය වේ. සියලු පාර්ශ්වවල කතාව මෙය වේ. කෙසේ හෝ අපරාධයක් සිදු වී තිබේ. ජීවිත තුනක් අහිමි වී තිබේ. නීතියේ සිදුරුවලින් රිංගා ගොස්, ප්‍රධාන නගරවල මෙවැනි ඉදිකිරීම් කළ අවස්ථා රැසක් සහ ඒවා නිසි ප්‍රමිතියකින් සිදු නොකිරීම නිසා ජීවිත අහිමි වූ අවස්ථාවලට මේ පළමු උදාහරණය නොවන්නා සේ ම, අවසාන උදාහරණය ද නොවන බව සහතික ය. දේශපාලන සහ මුදල් බලය ඉදිරියේ දණගසාගෙන සිටින වගකිවයුත්තන් කවදා වන තෙක් ආරක්ෂා කළ යුතු ද? කවදා වන තෙක් ඔවුන් කියන දේ ඇසිය යුතු ද? කවදා වන තෙක් නීතියේ අසමාන බව ඉවසිය යුතු ද?.
-වත්සලා මාරුතී 

Leave A Reply

Your email address will not be published.

four × 1 =