එක්නැලිගොඩ නඩුවේ සාක්ෂිකරු අධිකරණ නියෝග කඩා පළිගැනීම් කොමිසමට !

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් කිරීම පිළිබඳ නඩුවේ සාක්ෂිකරුවකු වන ජේ. එම්. රන්බණ්ඩාට නඩුව අවසන් වන තුරු ශ්‍රේෂ්ඨාධිකරණයේ හෝ අභියාචනාධිකරණයේ හැර වෙනත් කිසිදු විනිශ්චය ආයතනයකට ගොස් සාක්ෂි දීමෙන් වළකින ලෙස නියෝගයක් නිකුත් කර තිබිය දී, ඔහු එම නියෝගය කඩ කරමින් දේශපාලන පළිගැනීම් පිළිබඳව සොයාබලන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි දී ඇති බව නීතිපති දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දී ඇත.
පසුගිය 22දා පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් අධිකරණයට දැනුම් දී ඇත්තේ, නඩුව මීට පෙර කැඳ වූ අවස්ථාවේ දී එම සාක්ෂිකරුට විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ල තරයේ අවවාද කරමින් මෙම නියෝගය නිකුත් කළ ද, ඊට පසු දිනම ඔහු දේශපාලන පළිගැනීම් කොමිසම හමුවේ සාක්ෂි ලබා දී ඇති බවයි. ඒ අනුව මෙසේ අධිකරණ නියෝගය කඩ කිරීම සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ ස්ථාවරය දැනුම් දීමට කල් ලබා දෙන ලෙස නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා කළ ඉල්ලීම පිළිගත් අධිකරණය නඩුවේ සාක්ෂි විභාගය සැප්තැම්බර් 29 දක්වා කල් තැබීමට නියෝග කර තිබේ.
මෙම සාක්ෂිකරු මීට පෙර නඩු වාරයක දී අධිකරණය හමුවේ පෙනී නොසිට දේශපාලන පළිගැනීම් කොමිසම හමුවට ගොස් තිබිණි. විනිසුරු මඬුල්ල ඔහුට තහනම් නියෝගයක් නිකුත් කර තිබුණේ එම නිසා ය. ඔහු ගිරිතලේ පිහිටි යුද හමුදා බුද්ධි අංශ කඳවුරේ සේවය කළ අයෙකි.

Leave A Reply

Your email address will not be published.

5 + 14 =