ගඟට පැන්න බව කියූ සැකකරු පොලිසිය විසින් මරා ගඟට දැමූ බවට චෝදනා !

ගාල්ල, බද්දේගම පොලිසියේ අත්අඩංගුවේ සිටිය දී ගිං ගඟට පැන පලා යාමට තැත් කළ බවට පොලිසිය සඳහන් කරන සැකකරු, පොලිසිය විසින් පහර දී මරා දමා පසුව ගඟට වීසි කර ඇතැයි සැකකරුගේ ඥාතීහු චෝදනා කරති.
මෙම සැකකරු පසුගිය 20දා වැසිකිළි යාමට කැඳවාගෙන ගිය අවස්ථාවේ දී ගිං ගඟට පැන අතුරුදන් වූ බව පොලිසිය සඳහන් කර තිබුණු අතර, ඔහුගේ මළසිරුර
පසුගිය 23දා දහවල් ගිං ගඟේ පා වෙමින් තිබිය දී හමු වී ඇත.
“අපි කෑම උයාගෙන ආවා පොලිසියට. බත් එක අරගෙන කසුන් නිඳි කිව්වා හොඳටම.
නැඟිට්ට වෙලාවක අපි කන්න දෙන්නම් කිව්වා. ඕගොල්ලො යන්න කිව්වා ගෙදර. මේ ගොල්ලො කළේ මොකක් ද? මේ ගොල්ලො තියාගෙන ගැහුවා, ගැහුවා… කොල්ලට. ගහලා ගහලා කොල්ලා මැරුණා. පස්සෙ මේ ගොල්ලො ගඟට වීසි කළා” යනුවෙන් මිය ගිය සැකකරුගේ පියා විසින් මාධ්‍යයට පවසා තිබිණි.
මිය ගිය සැකකරුගේ මව හඬාවැටෙමින් ප්‍රශ්න කර තිබුණේ
“එළවං ගියා නම් මේ තිහක්, හතළිහක් ඉන්න පොලිසියට ඇයි මගේ දරුවා අල්ලා ගන්න බැරිවුණේ ?” යනුවෙනි. මිය ගොස් ඇත්තේ, ගෝනාපීනුවල ප්‍රදේශයේ පදිංචිව සිටි 24 හැවිරිදි තරුණයකු වන අතර, ඔහුට එරෙහිව චෝදනා එල්ල වී තිබුණේ, මුදල්, රන් භාණ්ඩ සහ යතුරුපැදි සොරකම් කිරීම් සම්බන්ධයෙනි.

Leave A Reply

Your email address will not be published.

5 × five =