ආලෝකයෙන් සිතුවම් වූ තේ කහට

 

තේ බීමට රිසියෙමි. ඇබ්බැහියෙමි. දවසට දෙතුන් වරක් තේ කෝප්ප කිහිපයක් රසවත්ව දෙතොල් පුබුදා මා උත්තේජනයේ තබයි. තේ වතු හා කර්මාන්තශාලා සමීපයේ තිබුණු ගමක ජිවත් වූ කෙනෙකු ලෙස, මේ රසවත් තේ කෝප්පය පිටුපස ඇති දුක් බර කම්කරු ජිවන වෘතය ගැන ද තරමක් දන්නෙමි. දේශපාලන වශයෙන් පාවිච්චි වෙමින් අවම ජීවන තත්ත්වයක දුෂ්කරත්වය විඳින ඔවුන් පිලිබඳ, ඔවුන්ගේම තුරුණු ප්‍රජාවගේ ඇසින් අපට ආමන්ත්‍රණය කරන ‘තේ කහට’ සේයාරූ ප්‍රදර්ශණය ඊයේ නරඹන්නට ලැබිණ. පිටතින් යමෙකු ගොස් කැමරාවක් මානා මේ අයගේ ජිවිත වලින් අංශු මාත්‍රයක් දඩයම් කරගෙන විත් තබා කරන සුලබ කලාත්මක සංග්‍රහයට වඩා එය සුවිශේෂී වූයේ එම සේයාරූ රැගෙන කලාගාරයට පැමිණ සිටියෝ ඔවුන්ම වීමය. ඔවුන් ඔවුන්ගේ ජීවිතය අපට පෙන්වයි. එසේම ජායාරූපමය ගුණාත්මක ලක්ෂණ ඒවා තුළ පවත්වාගෙන ඇති අන්දම ප්‍රවීනත්වක් පළකරයි. ජිවිතයේ කිසිකලෙක වෘත්තීය කැමරාවක් අතින්වත් අල්ලන්නට නොලැබුණ ඔවුන් වෙත ඇපචර්, ෂටර්, අයි එස් ඕ හැසිරවීමේ මෙහෙයුම ගැන ද, ජායාරූපකරණයේ කලාත්මක පක්ෂය පිළිබඳ දැනුම ද ඉතා කෙටි කලකින් දී ඇත්තේ ප්‍රවීන ජායාරූපශිල්පී අජිත් සෙනෙවිරත්න සහ නදිෂ්ක රණසිංහ ය. සැබවින්ම ඔවුන් කොට ඇත්තේ විශ්මිත යමකි. සමහර විට තේ වත්තේ කටුක ජිවිතයෙන් මිදෙන්නට කොහේ හෝ නගරයකට සංක්‍රමණය ව කොත්තුගසන්නට හෝ අත්‍උදවුකාරයකු වන්නට ඉඩක් තිබූ කිහිපදෙනෙකුවත් ජායාරූප කලාවේ යම් ගමනකට ප්‍රවිෂ්ට වීමේ විභවයක් ඒ ඔස්සේ නිර්මාණය වීම එහි අතුරු ඵලයකි. එමෙන්ම මේ ජායාරූප අප වෙත ආමන්ත්‍රණය කොට කියන කරුණ එනම් තේ වත්තේ ජීවිතය අප බොන තේ කෝප්පය තරම් රසවත් නොවන තත්ත්වය ට අමතරව ඒවා සන්නිවේදන කරන අනෙක් කාරණය, අතිශය නිර්මාණශීලි තරුණ ප්‍රජාවක් මේ කම්කරු ජනතාව අතර සිටින බවය.
මේ වටිනා කාර්යයට දායකත්වය දුන් ළහිරු කිතලගම කවි මිත්‍රයා ට තුති..!
අද දිනයේද ඔබ වෙනුවෙන් මේ ප්‍රදර්ශනය ලයනල් වෙන්ටඩ් කලාගාරයේදී විවෘත ය.
-විකුම් ජිතේන්ද්‍ර

Leave A Reply

Your email address will not be published.

5 × two =