දවසක…

මීගමුව රෝහලේ මා නාරි හා ප්‍රසව ජ්‍යෙෂ්ඨ වෛද්‍ය නිලධාරී ලෙස සේවය කල සමයේදී ගර්භිනී මුස්ලිම් මවක් පැමිණියේ කුස තුළ සිටින දරුවා දැඟලීමක් නොකරන බව කියමිනි. ඇය පැවසූ අන්දමට පුරා දින තුනක් පමණ දැඟලීම සිදුවී නැත. අප දරුවාගේ හෘද ස්පන්ධනයට සවන් දීමට පිනාඩය මවගේ කුසට තබා බැළුවෙමු. නමුත් ශබ්දයක් නැත. දරුවාගේ හෘද ස්පන්ධනය ඉලෙක්ට්‍රොනිකව සටහන් කරන සීටීජී යන්ත්‍රය මගින් කියවීමක් ලබා ගත්තෙමු. එය අනුවද දරුවාගේ හෘද ස්පන්ධන නොමැත. මේ අනුව කුස තුළ සිටින දරුවා මිය ගොසිනි. කළ යුත්තේ ස්වභාවික ගබ්සාවක් වන තුරු කාන්තාව වාට්ටුවේ තබාගැනීම හෝ ශ්‍යල්‍යකර්මයක් මගින් මළ දරුවා ඉවත් කිරීමය.
මුස්ලිම් කාන්තාව වාට්ටුවට ඇතුලත් කිරීමෙන් පසු ඇයට ඇඳක් දෙන ලදී. ඇය විවේක ගත්තාය. කුස තුළ සිටින දරුවා මිය ගොස් බව ඇය තේරුම් ගත්තාය. නමුත් දුක හා පශ්චාත්තාපය ඇය එලි පිට නොපෙන්නුවාය. නමුත් සන්තාපය ඇයගේ දෙනෙත් වලින් දැකිය හැකි විය.
කරන ලද මූලික පරීක්ෂණ වලින් සහ සීටීජී පටියෙන් සෑහිමකට පත් නොවූ මා භ්‍රෑණයාගේ හෘද ස්පන්ධනයට සවන් දිය හැකි පිනාඩය යළිත් වරක් ඇයගේ කුස මත තබා සවන් දුන්නෙමි. ගර්භණී කාන්තාවගේ කුසේ විවිධ පැති වලට පිනාඩය තැබුවද කිසිදු ශබ්දයක් නොමැත. උත්සහය අතහැර දැමීමට පෙර අවසන් වතාවට මගේ දකුණු කන දකුණු අතේ දබර ඇඟිල්ලෙන් වසාගෙන වම් කන පිනාඩයට තබා කුසට සවන් දුන්නෙමි. ඉතා දුර්වළ සහ රිද්මයකින් තොර භ්‍රෑණ හෘද හඬක් මට ඇසුනි.
වහාම කාන්තාව සීසර් ශල්‍යකර්මයකට සූදානම් කරන ලෙසට මම හෙද නිලධාරිනියට පැවසුවෙමි. ඉන්පසු සීමාවාසික වෛද්‍ය නිලධාරීවරයාට රෝගියා වෙනුවෙන් ලේ සූදානම් කොට ඉතා ඉක්මනින් ඇය ශල්‍යගාරයට ගෙන එන ලෙස පවසා ශල්‍යගාරයට දිව ගියෙමි.
ශල්‍යගාරයේ ශල්‍ය ජ්‍යෙෂ්ඨ වෛද්‍ය නිලධාරීවරයා හර්නියා ශල්‍යකර්මයක් කරමින් සිටියේය. මාගේ අවශ්‍යතාවය තේරුම්ගත් ඔහු හැකි ඉක්මනින් ශල්‍යකර්මය අවසන් කොට මට ශල්‍යාගාරය නිදහස් කොට දුන්නේය. කාන්තාව ශල්‍යාගාරයට ගෙන ඒමෙන් පසු මම ඉක්මනට සීසර් ශල්‍යකර්ම ආරම්භ කලෙමි. මවට නිර්වින්දනය දෙනු ලැබුවේ වෛද්‍ය ගෝවින්ද රාජාය. සීමාවාසික වෛද්‍ය නිලධාරී චන්දන චන්ද්‍රසේකර මගේ සහයකයා විය.
සීසර් ශල්‍යකර්ම කරන අතරතුර ළමා වෛද්‍ය නිලධාරියාට ඉක්මනට ශල්‍යාගාරයට එන ලෙසට පණිවිඩයක් යවන ලෙසට ශල්‍යාගාර හෙදියට කීවෙමි. ඇගේ දුරකථන පණිවිඩයට ළමා වෛද්‍යවරියද පැමිණියාය.
කාන්තාවගේ ගර්භාශය සැතෙන් කපා ළදරුවා මම එලියට ගත්තෙමි. ඔහු පිරිමි දරුවෙකි. මිකෝනියම් හෙවත් භ්‍රෑණ බහිස්‍රාවිය ද්‍රව්‍ය වලින් නැහැවී සිටි ළදරුවා අසීරුවෙන් හුස්ම ගත්තේය. ඔහුගේ ස්වාසනාලයට මිකෝනියම් ඇතුළු වී තිබුනේය. ළමා වෛද්‍යවරිය ළදරුවාට ස්වසනය කිරීම පහසු කරනු වස් ළමා කූපිකාවක් ස්ථාපිත කළාය. ඉන් පසු ළදරුවා ඉන්කුබේටරය වෙත ගෙන යන ලදී. මම සීසර් ශල්‍යකර්මයේ අවසන් අදියරයට පැමිනෙමින් සිටියෙමි.
ශල්‍යකර්මය අවසන් කිරීමෙන් පසුව ඇයව වාට්ටුවට ගෙන යන ලදී. නමුත් ළදරුවාව ළමා වාට්ටුවේ සතියක් පමණ තබාගෙන ප්‍රතිකාර කරනු ලැබීය. අවසානයේදී මවත් ළදරුවාත් නීරෝගීව රෝහලෙන් පිටව ගියහ. අපගේ ක්ෂනික ක්‍රියාමාර්ගය නිසා ළදරුවාගේ ජීවිතය බේරිණි.
දැන් මෙම සිද්ධිය වී වසර 18 පමණ ගතවී තිබේ. මා අද ලංකාවේ නැත. නිර්වින්දන වෛද්‍ය ගෝවින්ද රාජා ගම්පහ රෝහලේ සේවය කරයි. එදා මගේ සහයකයාව සිටි සීමාවාසික වෛද්‍ය නිලධාරී චන්දන චද්‍රසේකර අද ජීවත් වන්නේ ද ඕස්ට්‍රේලියාවේය. මෙම මුස්ලිම් මාතාව සහ පුතා මීගමුව අවට ප්‍රදේශයක ජීවත් වනවා ඇත. සිංහල වෛද්‍යවරයෙකුත් ද්‍රවිඩ නිර්වින්දන වෛද්‍යවරයෙකුත් ඔහුගේ දිවි ගලවා දුන් බව මෙම මුස්ලිම් තරුණයා බොහෝ විට නොදන්නවා විය හැකිය.
එදා සහජීවනයෙන් සිටි සිංහල සහ මුස්ලිම් ජනයා ආගමික අන්තවාදය නිසා ඈත් වෙමින් සිටිති. සැකය වෛරය ලියලමින් පවතී. මුහුණු පොත් වල වීරයන් එකිනෙකාට තර්ජනය කර ගනිති. අපහාස කරති. අප සිටින්නේ තවත් ආගමික සහ වර්ගවාදී ගැටුමක් ආසන්නයෙනි. ආගමික අන්තවාදයන් නිසා එකිනෙකා මරා දැමීමට කඩු මුවහත් කරන ලෝකයක මෙම සත්‍ය කතාව වසර 18 පසු මම පවසමි.

වෛද්‍ය රුවන් එම් ජයතුංග

Leave A Reply

Your email address will not be published.

13 + 18 =