‘තේ කහට’ තමන්ගේ යථාව ට වගකිව යුත්තේ කවුරුන්ද?

අද අවසාන දවස
ඇවිත් යන්න එන්න.
පොත් කියවන්න බුක් ෆෙයා යන ගමන් මේ කතාව බලන්න එන්න.
ලයනල් වෙන්ඩ්ට් ආට් ගැලරි එකට
උදේ 10 හවස 6 දක්වා.
ෆොටෝ ගැන කතා බහ හවස 4 ට

‘තේ කහට’ තමන්ගේ යථාව ට වගකිව යුත්තේ කවුරුන්ද?

මා අද දින (2020 සැප්තැම්බර් 26) කොළඹ ලයනල් වෙන්ට් කලාගාරයේදී විවෘත වුණු ‘තේ කහට’ ලෙස නෙස නම්කර කර තිබූ ඡායාරූප ප්‍රදර්ශනය පිළිබඳ දැනගත්තේ සංජය නිල්රුවන් ගුණසේකර විසින් මුහුණු පොතේ බදා හැර තිබූ දැන්වීමකිනි. එහි සදහන් වූයේ, මෙමගින් කඳුකරයේ තරුණ තරුණියන් 40 දෙනෙකු විසින් ඉදිරිපත් කරනු ලබන ඡායාරූප සියයක් ප්‍රදර්ශනය කරන බවයි.
ඡායාරූප එකතුව සමස්තයක් ලෙස ගත් විට, එමගින් ගොතා තිබුණේ ලංකාවේ කඳුකර ප්‍රදේශ ආශ්‍රිත තේ වතුවල රැකියා කරන හා එහි ජීවත්වෙන දමිල ප්‍රජාව ගේ දෛනික ජීවිතය පිළිබඳ කතාවකි. එය එම ප්‍රදේශ වෙත පිටතින් ගිය පර්යේෂකයන් හෝ එවන් අන් වෘත්තිකයින් විසින් කියන කතාවක් නොවේ. මේ කතාව කියනු ලබන්නේ, මේ වතුකර ප්‍රදේශයේම ජීවත්වන තරුණ තරුණියන් පිරිසක් විසින්ය. වෙනත් වචනවලින් කියන්නේ නම්, ඔවුන් මේ කියන්නේ තමන් හොඳින් දන්නා, තමන්ගේ ජීවිත කතාවයි. මගේ විශ්වාසය වන්නේ, මේ ප්‍රජාව පිළිබඳව දැනට මා දැක දැක ඇති ප්‍රබලතම ඡායාරූප එකතුව මෙය බවයි. සැබැවින්ම, මා සිතන්නේ මේ ප්‍රජාව පිළිබඳ මා දැනට දැක හෝ කියවා ඇති ප්‍රබලතම කතිකාවන් ගෙන් එකක් මේ බවයි.
පර්යේෂකයෙකු ලෙස සහ විශ්වවිද්‍යාල ගුරුවරයෙකු ලෙස, මේ ප්‍රජාවගේ ප්‍රභවය හා ඉතිහාසය මෙන්ම ඔවුන්ගේ ජීවන ශෛලිය හා දේශපාලනය පිළිබඳව නොයෙකුත් පර්යේෂකයින් සහ ශාස්ත්‍රඥයන් විසින් ලියා ඇති බොහෝ දේ මා කියවා ඇත. එනමුත්, ඒ සියල්ල හා සැසඳීමේදී මේ තරුණ තරුණයින් විසින් දෘශ්‍යමය වශයෙන් කියා ඇති මේ කතිකාව වඩාත් තීව්‍ර හා අව්‍යාජ බව මගේ වැටහීමයි. මෙහි ඇති එක් ඡායාරූපයකට දී තිබූ තේමාව මේ සමස්ත ප්‍රදර්ශනයම විස්තර කරනු ඇතැයි මා සිතමි. එනම්, ‘මේ සරල බව නොවේ, දුප්පත්කම’ බවයි. මේ තරුණ තරුණියන් සමස්තයක් ලෙස කියාපාන්නේ, තමන්ගේ ජීවිත හා බැඳී ඇති දරිද්‍රතාව හා ජය ගැනීමට අපහසු අනේකවිද අභියෝග පිළිබඳ කතාවයි.
මේ වතුකරය පිළිබඳව සංචාරක පෝස්ටර්වල හා වර්ණ පෝස්ට් කාඩ් මගින් කියාපාන පරාදීසය පිළිබඳ කතාව නොවේ. මේ ඒ මිත්‍යා කතිකාව පිටුපස ඇති අවාසනාවන්ත යථාවයි. ප්‍රදර්ශන අවස්ථාවේදී මා එහි සිටි එකම ඡායාරූප ශිල්පියෙක් සමගවත් කතා කළේ නැත. එනමුත් මම එහි තිබූ සියලුම ඡායාරූප දෙතුන් වතාවක්ම ම හොඳින් බැලුවෙමි. එසේ කතා නොකිරීමට හේතුව, ඔවුන්ගේ කතාව දෘශ්‍යමය වශයෙන් මේ ඡායා ඡායාරූප පෙළ මගින් ඔවුන් බලසම්පන්න ලෙස සන්නිවේදනය කර තිබීම නිසාය. එතනින් එහාට කතා කළ යුතු වෙනත් යමක් ඉතිරි වී නොතිබුනි.
මේ ඡායාරූප මගින් අප වෙත ඉදිරිකරන තවත් කතිකාවක් තිබේ. එනම්, අප රටේ දේශපාලනයේ මුල්බැස ඇති කුහකකම සහ ඔලමොට්ටලකම පිළිබඳ කතාවයි. 2020 දී මේ තරුණ තරුණියන්ට තම ජීවිතයේ යථාව මෙතරම් දුක්බර ආකාරයකින් ඉදිරිපත් කරන්නට සිදු වී ඇත්තේ ඇයි? නිදහසෙන් පසු ජාතික දේශපාලනය විසින් මේ ප්‍රජාව බ්‍රිතාන්‍යය යටත් විජිත යුගයේ ඔවුන් සිටි අවාසනාවන්ත තත්වයෙන් නිසි පරිදි මුදවා ගෙන නැති බව පැහැදිලිය. එමෙන්ම, මේ ප්‍රජාව නියෝජනය කරනවා යැයි පුන පුනා කියන සමස්ථ ලංකා වතු කම්කරු සංගමය සහ එවැනි අන් දේශපාලන කණ්ඩායම් විසින් ද පෙන්නුම් කර ඇත්තේ, ඔවුන් තවදුරටත් මේ ප්‍රජාව දරිද්‍රතාවය තුළම සිර කර සිටින බවයි.
මේ ඡායාරූප දුටු විට, මගේ සිතට නැගුනේ ඉන්දීය ඡායාරූප ශිල්පී රඝු රායි විසින් ඡායාරූප ගත කරන ලද ඉංදියාවේ නොයෙකුත් ස්ථානවල පදිංචි සරණාගත කඳවුරුවල පින්තූර වෙතය. රඝු රායිගේ එකතුවෙන් කොටසක් මීට වසර කිහිපයකට පෙර දකුණු ආසියානු විශ්වවිද්‍යාලයේ ප්‍රදර්ශනය කිරීමට එහි සමාජ විද්‍යා අධ්‍යයන අංශය කටයුතු කර තිබුණි. ඒ අපගේ පාඨමාලාවක කොටස්ක් වශයෙනි. කෙසේ වුවද, රඝු රායි ඡායාරූපගත කර තිබුණේ සරණාගත‍යින් හා සරණාගත කඳවුරුය. නමුත් මේ තරුණ තරුණියන් ඡායාරූප ගත කර තිබෙන්නේ ඔවුන් දින්පතා ජීවත්වන අවකාශ හා ප්‍රදේශයි. ඒවායින් පෙන්වන්නේ තමන්ගේ නිවෙස්ය. තමන්ගේ ටපිටාවය. තමන්ගේ නෑදෑයින්ය. මේ සරණාගත කඳවුරු නොවේ. එමෙන්ම, මොවුන් සරණාගතයින් ද නොවේ. මොවුන් ශ්‍රී ලාංකේය පුරවැසියන්ය.
මා සිත්නේ සිය ඡායාරූපවලින් මේ තරුණ තරුණියන් අසන ප්‍රධාන ප්‍රශ්නය නම්, තමන්ගේ යථාව ට වගකිව යුත්තේ කවුරුන්ද යන්න බවයි. කණගාටුදායක කාරණය වන්නේ, මේ අවාසනාවන්ත තත්ත්වයට වගකිව යුතු කතුවරුන්ගෙන් කොටසක් ජීවත් වන්නේ ඔවුන් අතරම වීමය. අන් කොටස ජීවත්වන්නේ අප අතරය.

Leave A Reply

Your email address will not be published.

4 + 6 =