ආයුබොවන්ඩ මහැදුරු චරිත,

මහාචාරිය චරිත හේරත් මැතිඳා කෝප් එකේ මුල් පුටුවට පත්වුණා ය කියන උණුසුං ආරංචිය ලැබුණු තකහනියෙමයි මේ ලියමන ලියන්නෙ. වියත් මගේ බලකණුවක් වෙන තමුන්නැහැගේ දැනඋගත්කමුයි පහුණු කාලෙ දරාපු පදවි තානාන්තරයි සලකල බලලා ගෝටගෙ විද්දියාත්මක කැබිනෙට්ටුවෙ මැටි අමාත්තිය දූරය වගෙ එකක්වත් පිරිනමාවි කියලයි අපි නං හිතාන උන්නෙ. දැන් ලැබිල තියෙන පත්වීම දිහා බලන කොට නං අපේ පපු කූඩු හෝස් ගාලා පත්තු වෙනවා ආයිබොවන්ඩ. මොකද හාහාපුරා කියල දියවන්නාවෙන් එගොඩ වෙච්ච රාජ සබා මන්දිරේ ඉන්න වෙට්ටපිත්තලයො ගැන හරිහමන් දැනුං තේරුංකොමක් නැති මුන්නැහැ වගේ ළපටියකුට දැලි පිහියෙන් කිරි කනවාටත් වඩා බයානක රාජකාරියක් පැවරුවේ මක්කට ද කියල අපේ පුංචි මොළවලටත් දැනෙන හන්දයි.

ගම්මිරිස් ඇට තරමෙ අපේ මොළගෙඩිවලට තමුන්නැහැලා වගේ ආචාරිය මහාචාරිය ඇත්තො යෝදයො තරං විසාලෙට පෙනුණට ඔය කාරියසාදනය වගේ තානාන්තර හොබවන නූල්සූත්තර විසාරදයන්ගෙ පොල්ගෙඩි මොළවලට ඔහෙලව පේනව ඇත්තෙ නං අඟුටුමිට්ටො ගාණට වෙන්ඩෝනැ. වියත්මං-යුතුකං ගොයියන්ගෙ ටෝක්ස් ටික නං මල් වෙඩි සංදර්සන වුණාට කෙරුවාව නං නිලාකූරු තරන්වත් ගතියක් නැති විත්තිය මේ දවස්වල දියවන්නා මන්දිරේ සිද්ද වෙන දේවල් දිහා බලපුවම පේනවා. ඒක හන්දා එක අතකින් බලපුවහම ඔහෙලට මෙහෙම සලකන එක ගැන පුදුම වෙන්ඩ දෙයකුත් නැහැ කියල හිතෙනව මහාචාරියතුමෝ.

ඒ මක්ක වුණත්, පොපෙසර්තුමා වගේ ටයිකෝට්කාරයෙක් කෝප් එකේ කෙරුංකාරයා වෙච්ච එක ගැන සතුටුයි. දැනුම් තේරුම් තියෙන උදවිය කියන්නෙ නං පහුගිය කාලෙ ඔය තානාන්තරේ දරපු ඩිව්ලට, හඳුන්ලට වැරදුණේ හොඳ ටීම් එකක් නොතිබුණ හන්ද ය කියලයි. ඒ අතින් නං ඉතිං තමුන්නැහැ ටිකක් හරි වාසනාවන්ත ය කියා හිතෙනවා. වෙන කවුරු පස්ස ගැහුවත්, මේ වංගියෙ ආණ්ඩුව නියෝජනය කරමින් කෝප් එකට ඇවිත් ඉන්න මහින්දානන්ද, රෝහිත, ගොඩහේවා වගේ වැඩකාරයො පිහිටුවල තියෙන රැකෝඞ් දිහා බලපුවහම ලෝක පොලෝසියටවත් හොයා ගන්ඩ බැරුව ඉන්න බැඳුංකර මහේන්ද්‍රන්ව විසිහතර පැයක් ගෙවෙන්ඩ මත්තෙන් අල්ලලා කුදලාගෙන එනවා සහතිකයි. කොටින්ම කියනව නං මහැදුරුතුමෝ ඔහේට තියෙන්නෙ පුල් සූට් එකක් ගහගෙන ඇවිත් ඔය පුටුවෙ වාඩිවෙලා ඉන්න එක විතරයි. ඉතුරු හරිය ඔය රත්තරන් මොළකාරයො ටික නියමෙටම බලාගනියි.

කෝප් එක මාද්දියට විවුර්ත කොරන්න අදහසක් නැති කතාවකුත් වටින් පිටින් ඇහෙනවා. ඒකත් හරි නුවණක්කාර වැඩක් තමා ආයිබොවන්ඩ. මොකද හොරා පොලිස් සෙල්ලම කොරන කොට පොලිසියෙන් හොරු අල්ලනව වෙනුවට හොරු එකතු වෙලා පොලිසිය අල්ලන දර්සන වැරදිලාවත් මීඩියාවල ගියොත් එහෙම මෙපමණ කාලයක් තමුන්නැහැ අමාරුවෙන් ගොඩනඟා ගත්තු අර පොරතිරූපෙ ද මොකක් ද කියන එකට ඩැමේජ් වෙන්ඩ ඉඩ තියෙන හන්දා. අනිත් එක තමයි සබාපතිතුමෝ, දැන් විගණන කොමිසමත් නැති එකේ ජනාදිපති, අගමැති ඇතු`ඵ ලොකු කන්තෝරු ගණනාවකම වියහියදං ගැන හොයන එකේ වගකීමත් මුන්නැහැටම දරන්ඩ වෙයි මයෙ හිතේ.

මේ විදිහට බලපුවහම නං මෙදා පාර චරිත සෑර්ව ඉන්දවල තියෙන්නෙ, අර ඒ දවස්වල මහින්ද මහරජ්ජුරුවන්ව ඉන්දවන්ඩ හදපු ඉලැක්ටිරික් පුටුවෙ ද කියලත් සාදාරණ සැකයක් පහළ වෙනවා● 

විශ්ව මිත්‍ර

Leave A Reply

Your email address will not be published.

two × 2 =