ඝාතන චූදිත පිල්ලෙයාන්ට අගමැතිගෙන් නිල තනතුරක් !

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝෂප් පරරාජසිංහම් ඝාතනය කිරීම සම්බන්ධයෙන් අධිචෝදනා ලැබ, රක්ෂිත බන්ධනාගාරගතව සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් මඩකලපුව දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සම සභාපතිවරයා වශයෙන් පත් කර තිබේ.
ඊට අදාළ පත්වීම් ලිපිය පසුගිය 22දා පාර්ලිමේන්තු සංකීර්ණයේ දී අගමැති මහින්ද රාජපක්ෂ විසින් පිල්ලෙයාන් වෙත භාර දී ඇත.
දිස්ත්‍රික්කයේ සියලු‍ රාජ්‍ය ආයතන නිලධාරීන් කැඳවා, ගැටලු සාකච්ඡා කිරීමට සහ විසඳීමට අදාළ නියෝග නිකුත් කිරීමේ බලය දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු ප්‍රධානීන්ට පැවරේ.
නව වැනි පාර්ලිමේන්තුවේ පළමු සැසිවාරය යෙදී තිබුණු අගෝස්තු 20දා සභාව අමතමින් පිල්ලෙයාන් පවසා තිබුණේ, තමන් කොන්දේසි විරහිතව ආණ්ඩුවට සහාය දීමට සූදානම් බවයි. 2005 දෙසැම්බර් 25 වැනි දින අලු‍යම 1.20ට පමණ මඩකලපුව මධ්‍යම පාරේ ශාන්ත මරියා දේවස්ථානයේ පවත්වන ලද විශේෂ නත්තල් දේව මෙහෙයට සහභාගි වී සිටි දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝෂප් පරරාජසිංහම්ට නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනකු විසින් මිලිමීටර් නවය වර්ගයේ පිස්තෝලයකින් වෙඩි තබා පලාගොස් තිබිණි.

Leave A Reply

Your email address will not be published.

2 + ten =