මූල්‍ය බලය ගැන ආණ්ඩුව දෙකට බෙදෙයි !

විසි වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත මඟින් රජයේ සමාගම් 117ක විගණන කටයුතු කිරීමේ බලය ජාතික විගණන කාර්යාලයෙන් ඉවත් කිරීමට යෝජනා කර ඇත. මේ නිසා පාර්ලිමේන්තුව සතු මූල්‍ය පාලන බලය අහිමි වේ. මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ පාර්ශ්වය සහ අගමැතිවරයාගේ පාර්ශ්වය අතර බරපතළ අර්බුදයක් මතු වී තිබෙන අතර, දෙපාර්ශ්වය මේ පිළිබඳව ප්‍රසිද්ධියේ වාද කර ගැනීමට පටන්ගෙන තිබේ.
අගමැතිවරයා විසින් පත් කරනු ලැබූ විසිවැනි සංශෝධන කෙටුම්පත පිළිබඳව විමර්ශනය කිරීමේ කමිටුව මඟින් ද මේ වගන්තිය වෙනස් කළ යුතු බවට නිර්දේශ කර ඇත. එසේ ම ඇමැතිවරුන්ට මෙන් ම ආණ්ඩුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමට ද අගමැතිවරයා අවධාරණය කර ඇත්තේ, පාර්ලිමේන්තුවේ මූල්‍ය පාලනය පිළිබඳ මෙම ගැටලුව විසඳීමට තමන් මැදිහත් වන බවයි. අගමැතිවරයා මෙසේ පැවසුව ද, ජනාධිපතිවරයාගේ සමීපතමයකු ලෙස ප්‍රකට අධිකරණ ඇමැති, ජනාධිපති නීතිඥ අලි සබ්රි අවධාරණය කරන්නේ විසි වැනි සංශෝධන කෙටුම්පතේ සඳහන් මෙම විගණන බලය පිළිබඳ වගන්තිය කිසිදු ආකාරයකට වෙනස් කිරීමට සූදානම් නැති බවයි. විගණකාධිපතිවරයාට රාජ්‍ය සමාගම් විගණනය කිරීමේ බලය ලබා දීම එම සමාගම්වල ක්‍රියාකාරිත්වයට දැඩි බලපෑම් එල්ල කර ඇති බව ද අධිකරණ ඇමැතිවරයා පෙන්වා දෙයි.
අගමැතිවරයාගේ කමිටුව මඟින් සකස් කළ නිර්දේශ ඇතුළත් වාර්තාව කැබිනට් මණ්ඩලයට හෝ ඉදිරිපත් කිරීමට අවස්ථාවක් නොලැබුණු අතර, ජනාධිපතිවරයාගේ පාර්ශ්වයෙන් අවධාරණය කර තිබුණේ, විසි වැනි සංශෝධන කෙටුම්පත ඒ ආකාරයෙන්ම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතු බව ය. මේ සම්බන්ධයෙන් අදහස් දක්වන ජී.එල්. පීරිස් ඇමැතිවරයා පවසන්නේ, කමිටුවට පැවරූ වගකීම නිසි පරිදි ඉටු කළ බවයි. මුල දී ඇමැතිවරයා පවසා තිබුණේ, කමිටුව සකස් කරන වාර්තාව අනිවාර්යයෙන්ම කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ යුතු බව ය.
මේ අතර ආණ්ඩුවේ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග මීට පෙර සඳහන් කර තිබුණේ, විගණන කොමිසමට අදාළ කරුණු ඇතුළු විසි වැනි සංශෝධන කෙටුම්පතේ අඩුපාඩු නිවැරැදි කොට නව ගැසට් නිවේදනයක් ප්‍රකාශයට පත් කිරීමට ජනාධිපතිවරයා පොරොන්දු වූ බවයි. මෙසේ අඩුපාඩු නිවැරැදි කරගෙන ඉදිරියට යාමට ජනාධිපතිවරයා තීරණය කිරීම අගය කළ යුතු බව ද පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා පවසා තිබිණි.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වන ශ්‍රී ලංකා විගණනසේවා සංගමය අවධාරණය කරන්නේ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් මූල්‍ය පාලන බලය පැවරී ඇත්තේ පාර්ලිමේන්තුවට බවයි. ඊට එරෙහිව කටයුතු කිරීම ජනතා පරමාධිපත්‍යයට අභියෝගයක් බව ද පෙන්වා දෙන එම සංගමය, තමන් මේ පිළිබඳව ආණ්ඩුවේ සියලු‍ අංශ දැනුම්වත් කර ඇති බව ද සඳහන් කරයි. එහෙත්, මෙතෙක් තමන්ට යහපත් ප්‍රතිචාරයක් ලැබී නැති බව ද සඳහන් කරන එම සංගමය, අගමැතිවරයාගේ පාර්ශ්වයෙන් මේ පිළිබඳව පොරොන්දුවක් ලබා දී ඇතැයි මාධ්‍ය වාර්තා පළ වුව ද, අගමැතිවරයාගේ කමිටු වාර්තාව පවා සැඟවීම බරපතළ තත්ත්වයක් බව ද අවධාරණය කර සිටී.
-ශාලික විමලසේන 

ඡායාරුපය – ලක්රුවන් වන්නිආරච්චි(AF)

Leave A Reply

Your email address will not be published.

2 × 3 =