“ඔලිම්පික් වෙනුවෙන් ග්‍රීස්ම සෘතුව කැප කිරීමට ජපානය සුදානම්”

මනුෂ්‍ය ධෛර්යමත් බව විසින් කෝවිඩ් වසංගතය පරාජය කරන ලද බවට වන සංකේතයක් හැටියට 2021 වසරේ ඔලිම්පික් උළෙල ජපානයේ පවත්වන බව නව ජපන් අගමැති යොෂිහිඩේ සුගා (Yoshihide Suga) ප්‍රකාශ කරනවා. එක්සත් ජාතීන් අමතමින් සුගා මේ බව සඳහන් කළේ ජපානය මෙවර කෝවිඩ් නිසා කල්දමන ලද ඔලිම්පික් උළෙල නැවත කෙසේ හෝ ලෝකයා වෙනුවෙන් පැවැත්වීම වෙනුවෙන් කොතරම් සුදානම් දැයි පෙන්වා දෙනු පිණිස.
මෙවර ග්‍රීස්ම සෘතුව ඒ වෙනුවෙන් කැප කිරීමට ජපානය සුදානම් කියල.
සුගා කියන්නේ පළමු සහ දෙවන ලෝක යුද්ද දෙක වෙනුවෙන් පමණක් දෙවතාවකදී කල්දමන ලද අවුරුදු එකසිය විසි හතරක් තිස්සේ නොකඩවා පැවැත්වෙන ලෝක ඔලිම්පික් උත්සවය ගැන ඉතාම හැඟීමෙන් යුතුව. ඉහත යුද්ධ දෙක වෙනුවෙන් විතරයි මෙතෙක් ඉතිහාසයේ ඔලිම්පික් පවත්වන්න බැරි උණේ. කෝවිඩ් කියන්නේ ඒ අර්ථයෙන් ලෝක යුද්ධයක් වගේ දෙයක් කියල තමයි අපිට හිතන්න වෙන්නේ.
ෂින්සෝ අබේ ගෙන් පස්සේ ජපන් අගමැති ධූරයට පත් උන සුගා වැඩි දුරටත් කියන්නේ එයා කිසිම කොන්දේසියක් නැතුව උතුරු කොරියාව එක්ක කතා කරන්න ලැහැස්තියි කියල. ඒක කලාපීය සාමය වෙනුවෙනුත් ද්විපාර්ශවික වශයෙනුත් වැදගත් කියල. දෙගොල්ලන්ටම අමිහිරි ඉතිහාසයක් තිබුණත් අලුත් අගමැතිතුමා කැමතියි ඒ අතීතේ අමතක කරලා දාන්න.
ලෝක සාමය වෙනුවෙන් සුගා මහතා ගේ පණිවිඩය වෙන්නේ එයාල හැමදාම මතුරන හිරෝෂිමා අනුස්මරණ ඵලකයේ පණිවිඩය ම තමයි. ඒ කියන්නේ මෙවන් විපතක් කිසිදු ලෙසකින් නැවත සිදු නොවන්න වග බලා ගනිමු කියන එක.
ඒ නිසා ලෝක සාමය සහ සහජීවනය වෙනුවෙනුත් න්‍යෂ්ටික අවි පිටුදැකීම වෙනුවෙනුත් එයාල හැමදාම පෙනී සිටිනවා කියල අවසන් වශයෙන් සුගා සඳහන් කරලා තියෙනවා.
අළු මතින් නැගිටීමේ මිනිස් ධෛර්යය ගැන ලෝකයට කියන්න ජපන් ජාතිය තරම් සුදුසුකම් තියෙන වෙනත් ජාතියක් නැති තරම්. එයාලට එදා වැටුණ වෙලාවේ නැගිටින්න උදව් කළ මිනිස්සුත් එයාල කවදාවත් අමතක කළෙත් නැහැ.
හිරෝෂිමා බෝම්බයේ ගිණි රස්නෙන් අළු වෙලා ගිය අයගේ නම් නෙවෙයි එයාල වැදගත් ලෙස සලකන්නේ. ඒ බෝම්බයෙන් පස්සේ එයාල ජාතියක් හැටියට ඉගෙනගත්ත පණිවිඩය.
‘මෙතැන වළදමා ඇති අයගේ නම් ගම් අප නොදනිමු. එහෙත් මේ සිදුවෙච්ච විනාශය නම් නැවත සිදු වෙන්න කිසිදු ඉඩක් නොතබමු’. මේක තමයි හිරෝෂිමා ස්මාරක වැකිය.
අතීතය කර මත තියාගෙන පාරම්බානවා වෙනුවට එයාල අනාගතයට අරන් යන්නේ අතීතයේ පාඩම.
-මහේෂ් හපුගොඩ

Leave A Reply

Your email address will not be published.

15 − 7 =