“ගෝඨාභයට ජේ.ආර්.ට අඳින්න හැදුවාට අඳින්න බැහැ, අඳින්න පුළුවන්, කවටයාට”

ජනතා විමුක්ති පෙරමුණ විසින් පවත්වනු ලබන “20 කාගෙද? කාටද?” රට වටා පවත්වන සම්මන්ත්‍රණ මාලාවේ පළමුවැන්න ඊයේ(24) කොළඹ මහජන පුස්තකාල ශ්‍රවනාගාරයේ දී පැවති අතර මෙම අවස්ථාවට ජවිපෙ හිටපු මන්ත්‍රී නලින්ද ජයතිස්ස, ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනී හරිනි අමරසුරිය, සහ ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා දේශකයන් ලෙස සහබාගි විය. මෙහිදී ටිල්වින් සිල්වා විසින් පවත්වන ලද දේශනයේ කොටසක් මෙසේය,

“ජේ.ආර්.ට තිබුණේ, නව ලිබරල්වාදයේ ආරම්භක කාලය. ගෝඨාභයට සිදුවෙලා තිබෙන්නේ, ඒකේ අවසාන කාලය නියෝජනය කරන්න. ඒ නිසා ජේ.ආර්. කළ හපන්කම් ටිකවත් ගෝඨාභය මහත්තයාට කරන්න වෙන්නේ නැහැ.
අනික් පැත්තෙන් ජේ.ආර්. තමන්ගේ ව්‍යාපෘතිය ඉදිරියට ගෙනයන්න හැකියාව තිබුණු දක්‍ෂයො ටිකක් වටේට තියා ගත්තා. දක්‍ෂයෝ අද නැහැ. වටේට ඉන්නේ රජවාසල කවටයෝ වාගේ පිරිසක්. ඒ අය එක්ක මේ වැඩේ කරගන්න බැහැ. තනියෙමයි ඒ වැඬේ කරන්න වෙලා තියෙන්නේ. එහෙම කරන්න ගියාම එයත් කවටයා වෙනවා. ඉඩම් නඩු බේරන්නත් ආයතනවලට යන්නේ ඒ නිසා. ජනාධිපතිවරයෙක් ග්‍රාමසේවක මහත්තයෙක් කරන වැඩ කරන්න යන්නේ මොකටද?”

“හැමෝම ඉන්නේ මේ කුණු කාණුවෙන් තමන්ට දෝතක් ගන්න. ඒ නිසා ගෝඨාභය රාජපක්‍ෂ මහත්තයා ජේ.ආර්.ට අඳින්න හැදුවාට අඳින්න බැහැ. අඳින්න පුළුවන්, කවටයාට, විකටයාට විතරයි.”

“පහුගිය අවුරුදු දහය දොළහ තුළ මේ රටේ තිබුණු වමට බර චින්තනය විනාශ කළා. අන්ත ජාතිවාදී නරුම චින්තනයක් හදලා තියෙනවා. ඒක ඒ ගොල්ලන්ට තාවකාලිකව වාසියි. ඒක හැමදාම තියාගන්න බැහැ. මිනිස්සුන්ට ඇත්තට මුහුණදෙන්න සිදු වෙනවා. තාවකාලික මායාවලින්, රැවටිලිවලින්, ප්‍රතිරූපවලින් රවටන්න බැරි දවසක් එනවාමයි. එදාට ඒ ජනතාව ඔය ප්‍රතිරූප බිඳදාගෙන ගෝඨාභය රාජපක්‍ෂ මහත්තයාලට විරුද්ධව රොදබඳිනවා කියන විශ්වාසය අපට තිබෙනවා.”

“අධිරාජ්‍යවාදීන්ගේ ව්‍යාපෘතිය ලංකාව තුළ ක්‍රියාත්මක කිරීමට දුර්වල, බෙලහීන ධනවාදය පවත්වාගෙන යාම සඳහා කරන උත්සාහයක් මේ තියෙන්නේ. අපේ රට ණය කන්දරාවක ගිලිලා. හාල් ගේන්නත් දැන් ණය ගන්නවා. නිෂ්පාදනයක් නැති, ණය මත යැපෙන රටක් හදලා තියෙන්නේ. දැවැන්ත සමාජ-ආර්ථික අර්බුදයක් තියෙනවා. ඒකෙන් ගොඩ එන්න බැහැ. තව තවත් ණය ගැනීමයි, අධිරාජ්‍යවාදීන්ට යටවීමයි හිලව්වට අපේ රටේ වටිනා සම්පත් පාවාදීමයි විතරයි මේ අයට තියෙන උත්තරය. ඊට එරෙහිව අනිවාර්යයෙන්ම ජනතාවගේ විරෝධයක් එල්ල වෙනවා. ඒ ජනතා ප්‍රතිචාරය මර්දනය කරලා, අධිරාජ්‍යවාදී අරමුණු ඉටු කරන්න අවශ්‍ය කරන බලය ගොඩනඟන්නයි මේ උත්සාහ කරන්නේ. ”
යනුවෙන් පැවසීය මෙම අවස්ථාවට විශාල ජනතාවක් රැස්ව සිටියේය.

ඡායාරුප -රවීන්ද්‍ර පුෂ්පකුමාර 

Leave A Reply

Your email address will not be published.

19 − 1 =