කවියකුගේ අධ්‍යාත්මයේ පොහොසත් බව ‘ගිම්හානේ යන්න ගිහින්’

සුනිල් විජේසිරිවර්ධනගේ ගිම්හානේ යන්න ගිහින් නම් රුසියානු කවි ඇතුළත් පරිවර්තන කෘතිය විමසිය හැකි ආකාර කීපයක් වෙතත් මේ පුංචි සටහන එබඳු විමසුමකට නො වේ. කවියකුගේ අධ්‍යාත්මික පොහොසත් බව ඉඟිකරන කවි කිහිපයක උද්ධෘත සහ එම කෘතියේ එන රචනා කීපයක උද්ධෘත ඇසුරින් කවියකුගේ අධ්‍යාත්මික සශ්‍රීකත්වය විමසා බැලීම මෙහි අරමුණයි .

මා කිසියම් දිනක ලියා පළකිරීමට අපේක්ෂිත කවිය පිළිබඳ විමසුම් රචනා සහිත කෘතියක් ආරම්භවන්නේ රත්නශ්‍රී විජේසිංහගේ ‘නො මළගම’ නම් රචනයෙනි. ජනවාරි මාසයට හැමදාම සීතලයි – එහෙත් දැන් වෙනදාට වඩා සීතලයි ….යනුවෙන් ඇරඹෙන ඒ රචනය සිහිගන්වන්නේ ජනවාරි 14 වන දිනක අප අතරින් නික්මගිය සේකර ගැන ය. ඒ කවිය කවියන් එකිනෙකා අධ්‍යාත්මික අඩවියක දී හමුවන අයුරු ස්පර්ශ කරයි. කවිය සහ කවියන් හමුවන ස්ථාන අධ්‍යාත්මික ප්‍රීතිය ජනිත කරනු වෙනුවට ලාභ සතුටක් ජනිත කරන ස්ථාන බවට පත්වෙමින් ඇති සමයක මෙබඳු රචනා විමසා බැලීම වැදගත් ය. ධර්මසිරි රාජපක්ෂ ගජමන් නෝනා සිහිපත් කරමින් ලියූ කවියක් ද මෙහි දී සිහිවෙයි. ලියනගේ අමරකීර්තිගේ එකමත් එක පිට රටක කෘතියේ එන එමිලි ඩිකින්සන් සහ රොබට් ෆ්රොස්ට්ගේ පිළිරූ එකිනෙකා දෙස බලාසිටින ආකාරය ගැන ලියවුණ කවිය ද මේ අධ්‍යාත්මිකත්වය ස්පර්ශ කරයි. ඩබ්ලිව්. එච්. ඕඩ්න් ලියූ IN MEMORY OF WB YEATS නම් කවිය ද කවියන් එකිනෙකා මුණගැසෙන අධ්‍යත්මික අඩවිය සියුම් ලෙස ස්පර්ශ කරයි .

රුසියාවේ කවියන් එකිනෙකා වෙනුවෙන් ලියූ කවි ගැඹුරින් විඳීම සඳහා, මේ කෘතියේ දී කතුවරයා පවසන පරිදි ම සාහිත්‍ය පඨිතය හා බැඳෙන සමාජ -ඓතිහාසික තතු ගැන අවබෝධය වැදගත් ය. මේ කෘතියේ දී එබඳු තතු කතුවරයා විසින් අපහමුවට රැගෙන එයි. කවියක දේශපාලනය යනු ආණ්ඩුකරවන අයට බැනවැදීම යැයි සිතන තරම් ඌනිත අදහස් ප්‍රකාශවන වන සමයක මේ කෘතිය ඇසුරෙන් කවියාගේ දේශපාලන අඩවිය කෙතරම් සියුම් ද යන්න ද විමසා බැලි ය හැකිය .

රුසියන් කවියේ අධ්‍යාත්මික මුහුණුවර ගැන ඉඟි කරන වැකි කීපයක් පහත් දැක්වෙයි .

”රුසියන් ජනතාව කවිය හා දක්වන සම්බන්ධය ආගමික සම්බන්ධයකට කිට්ටු යැයි සමහරුන් විසින් යෝජනා කිරීමට සාධාරණ හේතු පැහැදිලිව පෙනෙන්නට තිබේ ;ඒ ප්‍රවාදයේ ගැටලුවක් ඇත්නම් ඒ ආගමික සම්බන්ධතා තුළ නිරීක්ෂණය වන විවිධ ගැටලුකාරී අගතීන් මෙහි දී දක්නට නො ලැබීම පමණයි .”

කෘතියේ එන තවත් එබඳු වැකි කීපයක් පහත පරිදි ය .

”… එය අනෙක් සාහිත්‍ය මාදිලීන්ට වඩා අභ්‍යන්තර ආත්මීය ගැඹුර තුළට ම එල්ලවන එළියක්සේ ක්‍රියාත්මක වන්නේ ය යන හැඟීම ඉන් ප්‍රකාශ වන්නේ යැයි තවත් ආකාරයකින් අපට කිව හැකි ය. එවිට ස්වාභාවිකව ම ,කාව්‍ය , මනුෂ්‍යා විසින් තමා , අනෙකා හා පරිසරය /විශ්වය සමග පවත්වන ගැඹුරු ආත්මීය සබඳතාවන් ආශ්‍රිත අත්දැකීම් ප්‍රකාශ කරන සුවිශේෂ මාධ්‍යක් සේ පැවතීමට වරම් ලබන්නේ ය . මේ නිසා ම එය සමාජයේ හර්දය සාක්ෂිය නිරාකූලව හා නිර්බාධිතව ප්‍රකාශ කරන එක්තරා පූජනීය අඩවියක් බවට ද පත්වෙයි ;ඉදින් ,රුසියානුවන්ට කවිය ආගමට වඩා ආගමක් වීම ගැන පුදුම විය යුතු නො වේ .”
රුසියානු කවියන් සිය මිතුරු කවියන් සමරමින් ලියූ කවිවල දක්නට ලැබෙන සුවිශේෂ ලක්ෂණයක් වන්නේ අවංක බවයි. ආහ්මතෝවා ලියූ මතු දැක්වෙන කාව්‍ය ඛණ්ඩ කෙරෙන් අවධාරණය කෙරෙන්නේ කවියාට අවංක බව කෙතරම් වටිනවාද යන්න නොවේ ද ?

”නො ඉඳුල් වදන් නිබොරු හැඟුම්
අහිමි වුණොත් අපට ,සිත්තරකුට පෙනීමයි ,
නළුවෙකුට හඬයි -චලනයි ,නැත්නම්
යොවුනියකට සොඳුරු වතයි නැතිවුණා සමානයි .”

අහ්මතෝවා පැස්ටර්නැක් ගැන ලියූ කවියක මතු සඳහන් උද්ධෘතයෙන් කවියන්ගේ අධ්‍යාත්මික හමුවීම් මැනවින් විශද වෙයි .

”අසම සම හඬක් නිහඬ වූයේ ඊයේ
තුරුගොමු හා දොඩන්නා ඉතින් යන්න ගිහින්
ජීවාදායී ධාන්‍ය කරලක වෙසින් ඒවි ඔහු ,නැතහොත්
ඔහු ම කොතෙකුත් වැනූ වැහි ඇල්ලක් මෙන් .
ලොවේ තියෙන තරමක් සියලු මල්
පිපුණා එක්වර මේ නික්මුම දිහා බලමින් .
පියාඹා ගියා ඒ වුණත් නිහැඬියාවක් එ ක පැහැර
පෘථිවිය යන චාම් නම දරන ග්‍රහ ලොව මතින් .”

මේ කවියේ එන ” ලොවේ තියෙන තරමක් සියලු මල් -පිපුණා එක්වර මේ නික්මුම දිහා බලමින් .” යන වදන් රත්න ශ්‍රී , කුමාරතුංග මුනිදාස අරබයා ලියූ ”එක මලක නම් නොවේමැයි -මල් යායක සිරස නැමෙයි ” යන පද පේළි සිහිගන්වයි .
මරීනා පැස්ටර්නැක් ගැන ලියන කවක මතුදැක්වෙන උද්ධෘත පිටුවහල් කළ ද නො සිඳෙන කවියන්ගේ ගැඹුරු බැඳීම් සිහිපත් කරයි .

”පරතරය අප -අතර ගව් යොදුන් විහිදුම්
අපව දෙබෑ කොට ,ගල්වා දෙපෙත්තට
ඇන ගසා ඇත දෙඅත් ඇද දෙපැත්තට
නො දනිත් එහෙත් අරටුව නො දිරන වගක් නම් ”

මේ කෘතියට සංගෘහිත විශිෂ්ට කවි කෙරෙන් ඇසෙන සියුම් ස්වරමාලා ඇසෙන විට රුසියානු කවියාගේ ප්‍රාර්ථනාව තාගෝර්ගේ කවි දෙපදයක් ඇසුරින් කිව හැකි යැයි සිතෙයි .
”සත්යේ පතුලෙන් ගලනා පවිත්‍ර වදන් ඇත්තේ කොහිද ?
එසේ වූ නිදහසේ ස්වර්ග රාජ්‍යට මාගේ දේශය අවදි කරනු මැන පියණනි .”
-ප්‍රියංකර නිවුන්හැල්ල

Leave A Reply

Your email address will not be published.

eighteen + 5 =