සෞම්‍යගෙන් ඔබ්බට..

සෞම්‍ය ලියනගේ සහෝදරයා ඔහුගේ විශ්වවිද්‍යාලයේ මෙතෙක් දැරූ ධුරවලින් මහා හදිස්සියේ නෙරපා ඇති බව අද උදේ ආරංචි වුණා. මීට හේතුව වශයෙන් පෙන්වා දී ඇත්තේ, ආචාර්ය උපාධිය අවසන් කිරීම සඳහා ඔහුට ලබාදී තිබුණු වසර අටක කාලය තුළ එය අවසන් නොකිරීම ය. කෙසේ නමුත්, එය අවසන් කර පසුගිය වසර හයක පමණ කාලය තුළ විශ්වවිද්‍යාලය තුළ ඔහුගේ සේවය ස්ථිර කර ඇති අතර, නොයෙකුත් උසස්වීම් සහ තානාන්තර ද ද ඔහු වෙත ලබා දී ඇත. මෙවන් ගැටලුවක් තිබුණේ නම් මේ කරුණු කාරණා මෙලෙස සිදු වූයේ කෙසේද? එනිසා මේ ඊනියා අතපසුවීම වසර 6ක පමණ දිගු කාලයකට පසු විශ්වවිද්‍යාල බලධාරීන් ගේ දිව්‍යඥානයට හසු වූයේ කෙසේ ද යන්න තවමත් මට පැහැදිලි නැත.

ආචාරධර්ම විරෝධී තීරණ 

මේ තාක්ෂණික ගැටලුව සත්‍යයක් නම්, ඒ පිළිබඳ පවතින නීති රීති හා රෙගුලාසි අනුව කටයුතු කිරීම සාධාරණය. නමුත් විශ්වවිද්‍යාල පද්ධතිය සමස්ථයක් ලෙසත් සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලය සුවිශේෂ වශයෙන් ගත් කලත්, එතුළ විධිමත් හා නිල රාජකාරි ඉටුකිරීමේදී නොයෙක් විට ඊර්ෂ්‍යාව හා කුහකත්වය මත පදනම් වීම විශ්වවිද්‍යාල පිළිබඳ සරල දැනුමක් ඇති අයෙකු පවා මැනැවින් දන්නා කරුණකි. මෙනිසා සෞම්‍ය ලියනගේ සම්බන්ධයෙන් මේ ගෙන ඇති මහා හදිසි තීරණය හා එහි නීතිමය තත්ත්වය අනිවාර්යයෙන්ම අප සියලු දෙනාගේම සිත් තුළ සැක සංකා ඉපදවීම සාමාන්‍ය කරුණකි. එය සාධාරණ සැකයක් ද වේ.
නමුත් මෙවන් ආචාරධර්ම විරෝධී තීරණ විශ්ව විද්‍යාල සම්බන්ධයෙන් ගත් කල, සෞම්‍ය ලියනගේ ට පමණක් සීමා වී නැත. පසුගිය කාලය තුළ අප මැනැවින් දැක ඇති පරිදි මෙවැනි ආචාර්‍ය්ධර්ම විරෝධී සිදුවීම් සහ ගැටළු ලංකාවේ විශ්වවිද්‍යාල කිහිපයකම සිදු වීය. එනමුත්, ඒ පිළිබඳව විශ්වවිද්‍යාල ප්‍රජාව හෝ විශ්වවිද්‍යාල පිළිබඳ උනන්දුවක් ඇති සමාජයේ අන් පුද්ගලයන් අවශ්‍ය ප්‍රමාණයෙන් උනන්දුවක් දක්වා ක්‍රියා කළ බව මා විශ්වාස කරන්නේ නැත. සෞම්‍ය ලියනගේ මේ අවාසනාවන්ත හා භයානක ක්‍රියාවලියේ වඩාත් මෑත කාලීන සහ ප්‍රසිද්ධතම ගොදුරයි.

විද්‍යුත් පෙත්සමක් අත්සන් කිරීම

ලියනගේ සහෝදරයා සම්බන්ධයෙන්ද දැනට මා දකින්නේ අතිශයින් සරල ප්‍රවණතා දෙකක් පමණි. එනම්, change.org සංවිධානය ඔස්සේ තමන්ට සැපපහසු අවස්ථාවල විද්‍යුත් පෙත්සමක් අත්සන් කිරීම සහ එවැනිම පහසු වේලාවක මුහුණු පොතේ හෝ ට්විටර් ගිණුමක් හරහා තමන්ගේ සිතේ ඇති දේ සයිබර් අවකාශයට මුදා හැරීම‍ය. ගැටලුව වන්නේ, මේ සියළු දේ කළ පමණින් මෙවන් අසාධාරණකම් සම්බන්ධයෙන් සමාජයෙන් සිදු විය යුතු දේ තමන් විසින් කර ඇති බවට බොහෝ දෙනා පුද්ගලිකව සතුටු වීමය. එනමුත් මෙහිදී සැබැවින්ම සිදුවන්නේ, අතිශය ගැටලුකාරී තත්ත්වයක් පිළිබඳව තමාගේ සිතේ තිබෙන දේ නොයෙකුත් දෙනා සමග බෙදා ගැනීම පමණි. මැදිහත්වීමක් නොවේ. සැබැවින්ම, මෙවන් අදහස් දැක්වීම වැදගත්ය. එනමුත් එමගින් අසාධාරණයක් වී ඇති අයට හා ආයතන වෙත ලැබිය යුතු ආකාරයේ උදව්වක් හෝ මැදිහත්වීමක් ලැබේයැයි විශ්වාස කරන්න අමාරුයි.

උද්ඝෝෂණ ව්‍යාපාරයක් සහ  නීතිමය ව්‍යාපාරයක් 

ඒ නිසා, සෞම්‍ය ලියනගේ සම්බන්ධයෙන් පමණක් නොව, මෙලෙසින්ම අසාධාරණ හා හිතුවක්කාරී ක්‍රියාවන්ට නතු වූ මෙරට විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ට වෙනුවෙන් අප රටේ විශ්වවිද්‍යාලවල අනාගතය පිළිබඳ උනන්දුවක් ඇති සියලු දෙනාම කළ යුත්තේ, මේ ගැටලුකාරී කටයුත්තට දායක වූ සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලයේ නිලධාරීන්ට මෙන්ම, ඊට උල්පන්දම් දී ඇත්නම්, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ නිලධාරීන්ට ද උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ වගකිව යුත්තන්ට ද එරෙහිව ප්‍රබල බිම් මට්ටමේ ක්‍රියා මාර්ගයකට අවතීර්ණ වීමය. එය විශ්වවිද්‍යාල හා ඉන් පරිබාහිරවත් ක්‍රියාත්මක විය යුතුය. එය බලවත් උද්ඝෝෂණ ව්‍යාපාරයක් විය යුතුය. එය නීතිමය ව්‍යාපාරයක් ද විය යුතුය. එමෙන්ම එය සයිබර් අවකාශයේ සුවපහසු සීමාවන්ගෙන් බොහෝ ඔබ්බට යා යුතුය.
-සසංක පෙරේරා (fb)

Leave A Reply

Your email address will not be published.

fifteen − fourteen =