‘ගුහා සටන’ – කාංචනා අමිලානී

මෙහි මෙතෙක් ලියා ඇති හා ඉදිරියට ලියැවෙන්නට ඉඩ ඇති කාටත් වඩා මා හොඳින්ම දන්නා කියන ගෑනුළමයා කාංචනා ය. ඒ ඇයත් මාත් ලේක්හවුසියේ දිනමිණ කන්තෝරුවේ විශේෂාංග කෑල්ලේ වසර ගණනාවක් එකට වැඩකළ නිසාවෙනි. එබැවින් මම ඇගේ ලිවීමේ ලාලසාවත් සමර්ථකමත් දන්නෙමි.
අප ඇසුරින් ඈත් වී ගතකළ දසකයකට මඳක් වැඩි කාලය තුළත් ඈ කළ නිර්මාණාත්මක වපසරියට අයත් දෙයින් සැලකිය යුතු තරමක් මම කියවා ඇත්තෙමි. ඉතින් කාංචනාගේ නිර්මාණාත්මක ලෝකය හා ලියැවිල්ල ගැන මට මගේ ම වූ අදහසක් ඇත.
කැමරාව ගෙන බල්ලන් ද පූසන් ද පස්සේ පන්නමින් බලු-පූස් අයිතිවාසිකම් කඩකරනවාට අමතරව උන්ගේ මූණත්තහඩු හා ඉංගිතද, කල්කිරියාවන් ද සකරබර්ග් මහත්තයාගේ මූණු පුස්තකයේ පමණක් නොව වෙන වෙනත් සයිබර් කැලෑපත්තරවල ද අමුනන්නීය, ඈ. අහසේ ඉගිලෙන පරෙයියෙකුට නොව ගුලක ඉන්නා, වැලක යනෙනා, මලක කොළයක ගිමන් හරිනා කඩියෙක් කූඹියෙක් දිමියෙක් වේයෙකුටවත් ඇගෙන් නම් ගැලවීමක් නැත. වරෙක බිත්ති දිග බඩගාන කැමරාව වරෙක අහසේ ළඹ දේ. කෝච්චිවල එල්ලී ගමනේ යෙදේ. ඉස්ටේසන්වල රස්තියාදු ගසයි. වරෙක කඳු-නිම්න-තැනිතලා පීරාගෙන එයි. ඒ ඇගේ පින්තූර කෙරුවාව ය. ඒ පින්තූර ම වුව ඇගේ සිතිවිලි ලෝකයට එබී බලන්නට අගනා කවුළුවකි.
එහෙත් ඇගේ හිතනලන්තයට – ලියනලන්තයට ඇති වඩා පුළුල් පාර වැටී ඇත්තේ ඇගේ ලියැවිලි ඔස්සේම ය.
කාංචනාගේ ලියැවිලි බොහෝවිට හෘදයංගමයත්, හාස්‍යය හා උපහාසයත් අතරමැද දෝලනය වෙන්නේය යි ද, ගුණයෙන් වැඩිපුර උපේක්ෂා සහගත වන්නේයයි ද වරෙක මට සිතේ. ඇතැම් කවක, කතාවක ඇය බෙහෙවින් හෘදයංගම ය. එහෙත් එය හඬාවැටෙන, වැළපෙන වැගිරීමකට වඩා උපේක්ෂාවේ ම යම් යම් මාත්‍රා අඩංගුකරගත්තකි. ජීවිතය තදින් අල්ලා බදාගෙන අතිශයින් උදම්වනවාට හා ඇඟිලි අතරින් ලුහුටා ගියවිට විළාප නඟනවාට වෙනස්ව ඇය කිසියම් නො ඇලුණු, උපේක්ෂා සහගත බවකින් දේවල් දෙස නොබලන්නීද? කියවන්නිය ගේ හදතුළ සීරුම් ඉරක් වන් වේදනාවක් ඇඳී කඳුළක් මතුවන විට පවා ලියන්නිය නාඬන බව, සියල්ල සම සිතින් දරාගන්නා බව කියවන්නියට නොසිතෙන්නේද?
ඒ ඇගේ හෘදයංගම කලාපය ය. ඈ හාස්‍යය හා උපහාසයට ඇතුළුවූ විට එය, පිස්සු ලෝකයක වාටිය දක්වා වුවත් දිගෑදෙන්නට ඉඩඇතැයි උඩින් පල්ලෙන් බලන්නකුට සිතෙන්නට පිළිවන.
එහෙත් ඒ පිස්සු ලෝකය යට ඇත්තේ ඊට වඩා යමක් බව මෙවර ඔබ වඩා පහසුවෙන් වටහාගන්නට ඉඩ ඇතැයි මට සිතෙන්නට පටන්ගෙන තිබේ.
මේවා ගැන පුදුම විය යුතු නැත්තේ ඇත්තටම ඇය පුදුමාකාර හිතන්නියක බැවිනි. ඇගේ බ්ලොගයේ නමත් හිතනලන්තය වන නමුදු, බ්ලොගය නොව ඇය ම තනිකර හිතනලන්තයකි. ඒ හිතනලන්තයේ සුළුදෙයින් විස්මපත් වන කුඩා දැරියකත්, විසේකාර ගැටිස්සියකත්, දගඟකාර යෞවනියකත්, උපේක්ෂා සහගත දැනමුතු වැඩිහිටියකත් මම දැක ඇත්තෙමි.
එහෙත් මට ඇගේ ලියැවිලි තුලින් තාම කිරාවැටෙන මැහැල්ලක හමුවී නැති බව කිව යුතු ය.
ඇගේ නවතම නවකතාව වන ‘ගුහා සටන’ මොකද්දැයි මා හරියටම දන්නේ නැතත්, එය හිතනලන්තයේ සිට පාඨක සමුදුරට දියත්වන්නා වූ විස්මිත කතාන්තර නෞකාවක් වගනම් පෙනෙන්නට තිබේ. එය ඇය පසුගිය කාලයේ කඩියන්ද දිමියන්ද කූඹියන්ද වේයන්ද ආදී මෙකී නොකී කෘමි-කුරුමිනි සත්තුන්ට කැමරාව මානමින් සයිබරයේ ලියූ ගුහා සටන් පේලිය දලුලා වැඩී, යළි කැපී කෙටී පදම් වී උපන් එකක් ය යන සැකය ම’වෙත වෙයි.
ඒ කෙසේ වෙතත්, ඇය කවිය හා කෙටිකතාව තුළ, සයිබර් ලියැවිලි තුළ පමණක් නොව කැප්ෂන් තුළ පවා තමන්ගේම අනන්‍යතාවක් සලකුණු කරමින් ආ අපූර්ව ලියන්නියකි. ‘ගුහා සටනින්’ ඒ වෙසෙස් ලකුණ ඇය නවකතාව මතත් මුද්‍රා තබා තිබුණොත්, බොහෝ ඈතක සිටින, දශකයකින් හමුවී හෝ කතාබහ කර නැති මම ඒ ගැන පුදුම නොවන්නෙමි.
-සනත් බාලසුරිය
පුස්තකඇසුර

Leave A Reply

Your email address will not be published.

sixteen − 6 =