නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයට පවරාගෙන නැහැ – ඒත් ණය ගෙවන්නේ ආණ්ඩුවෙන්

මෙතෙක් නීත්‍යානුකුලව රජයට පවරාගෙන නොමැති මාලඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහල සඳහා ගෙන ඇති රුපියල් බිලියන 2.5 ක ණය මුදලේ වාරික රජය පියවන බව රාජ්‍ය ආයතනයන්හි දූෂණ වංචා සොයා බැලීමේ ජනාධිපති පරීක්ෂණ කොමිසන් සභාව හමුවේ අනාවරණය වී තිබේ. ඒ බව සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යංශයේ ලේකම් වසන්තා පෙරේරා තමන් හමුවේ හමුවේ සාක්ෂි දෙමින් කියා සිටි බව බව රාජ්‍ය ආයතනයන්හි දූෂණ වංචා සොයා බැලීමේ ජනාධිපති පරීක්ෂණ කොමිසන් සභාව නිකුත් කළ මාධ්‍ය නිවේදනයක දැක්වේ.

කැබිනට් පත්‍රිකාවකට අනුව රජය අදාළ වාරික ගෙවීම් සිදුකරන බව එහි වැඩිදුරටත් සඳහන් වේ. එමෙන්ම සෑම මසකම ඉදිරිපත් කෙරෙන තවත් කැබිනට් පත්‍රිකාවකින් එහි මාසික නඩත්තුව සඳහා රුපියල් මිලියන 50 ක මුදලක් වෙන් කෙරෙන බව ද කොමිසම හමුවේ අනාවරණ වූ බව අදාල නිවේදනයේ දැක්වේ.

ඒ අනුව රෝහල රජයට පවරාගැනීමකින් තොරව නඩත්තු ගෙවීම සම්බන්ධයෙන් කොමිසම හමුවේ සාක්ෂි ලබාදෙන ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ප්‍රියන්ත අතපත්තුට ද සිතාසි නිකුත් කළ බව රාජ්‍ය ආයතනයන්හි දූෂණ වංචා සොයාබැලීමේ ජනාධිපති පරීක්ෂණ කොමිසමේ පර්යේෂණ නිලධාරී මෙන්ම මාධ්‍ය ප්‍රකාශක එච් කේ රෝහණ බීබීසී සිංහල සේවයට පැවසීය.

රාජ්‍ය ආයතනයන්හි දූෂණ වංචා සොයා බැලීමේ ජනාධිපති පරීක්ෂණ කොමිසන් සභාව 2015 වසරේ ජනවාරි 15 වැනිදා සිට 2018 වසරේ දෙසැම්බර් 31 වැනිදා දක්වා කාලය තුල රාජ්‍ය ආයතනවල සිදුවූ වංචා දුෂණ සම්බන්ධයෙන් තමන් වෙත ලැබී ඇති පැමිණිලි විභාග කරයි.

විශ්‍රාමික හිටපු මහාධිකරණ විනිසුරු උපාලි අබේරත්නගේ සභාපතිත්වයෙන් යුත් කොමිසමට හිටපු මහාධිකරණ විනිසුරු සරෝජිනී කුසළා වීරවර්ධන, හිටපු නියෝජ්‍ය පොලිස්පති විජය අමරසූරිය, හිටපු විශ්‍රාමික නියෝජ්‍ය විගණාකාධිපති එම පී ධර්මරත්න යන සාමාජිකයෝ අයත් වෙති.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ එම කොමිසම හමුවේ පැමිණිල්ලක් ඉදිරිපත් කරමින්, මාලඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහල නීත්‍යානුකූලව රජයට පවරා නොගෙන රජයේ මුදල් භාවිත කරමින් එය නඩත්තු කිරීම නීති විරෝධී බව ප්‍රකාශ කර තිබිණි. ඒ අනුව මේ වසරේ පෙබරවාරි මස 11 වැනිදා සිට මේ දක්වා සෑම දිනයකම කොමිසම රැස්වී මාලඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහල සමබන්ධ විමර්ශන සිදුකර තිබේ.

කොමිසමට සාක්ෂි ලබාදීමට පැමිණි සෞඛ්‍ය පෝෂණ සහ දේශීය වෛද්‍ය අමාත්‍යංශයේ ලේකම්වරිය වැඩිදුරටත් පවසා ඇත්තේ මෙතෙක් රෝහල නීත්‍යානුකුලව රජයට පවරාගෙන නැතත් ඒ කැබිනට් පත්‍රිකා කිහිපයක් හරහා ඉදිරියේදී එම පවරාගැනීම සිදුකිරීමට බලාපොරොත්තුවන බවය. එමෙන්ම අමාත්‍යමණ්ඩල පත්‍රිකාවක් මගින්ම නෙවිල් ප්‍රනාන්දු රෝහලේ අයිතිය වසර 10ක් යනතුරු සයිටම් ආයතනයට හිමි බවත් එය රජයට පවරන්නේ නම් අදාළ කාලයෙන් පසුව කටයුතු කළයුතු බවත් ලේකම්වරිය කොමිසම හමුවේ පිළිගත් බව මෙම නිවේදනයේ දැක්වේ.

Leave A Reply

Your email address will not be published.

three + 11 =