එතකම් ඔයා පරිස්සමින් සතුටින් ගෙදර ඉන්න හොඳද පුතේ – මීට ලොකු සර්

2021 වසර සඳහා පළමු වසරට ළමුන් ඇතුලත් කිරීම සඳහා අදාළ පාසැලේ විදුහල්පති වරයා විසින් දරුවෙකුගේ නිවසට යවන ලද ලිපියක් ඊයේ දිනය පුරා සංසරණය විය. එය සාමාන්‍ය අප දකින ලිපියකට වඩා වෙනස් ලිපියක් නිසාම දහස් ගණනින් share විය.
අපි කවුරුත් බලාපොරොත්තු වන විදුහල්පතිවරයෙකුගේ ස්වරය එය නිසාම, එය ජනතාවගේ කැමැත්ත නිසාම එම ලිපිය මෙලෙස ලෝකය පුරා සංසරණය විය. මේ අප ජනප්‍රිය යැයි කියන හෝ සියලු පහසුකම් තිබෙනවා යැයි කියන පාසැලක් හෝ එවන් පාසැලක විදුහල්පතිවරයෙක් නොවේ. මේ උතුරුමැද පළාතේ , අනුරාධපුර දිස්ත්‍රික්කයේ කැකිරාව , පලුගස්දමන, පුස්දිවුල්වැව පාසලයි. එහි විදුහල්පති ඩී.එම්.ජී.එස්.ඒ. බණ්ඩාර මහතා විසින් මෙම ලිපිය අලුතින් පාසැලට පැමිණෙන දරුවෙකුගේ නිවසට යවා ඇත.
ලිපිය මෙසේය

ආදරණීය සඳලි දියණිය වෙත

පුතේ 2021 අවුරුද්දට අපේ ඉස්කෝලෙට එකතු වෙන්න ඔයා ඉල්ලුම් කළ එක ගැන අපි ගොඩාක් සතුටු වෙනවා. අපේ පාසලේ හැමෝම ගොඩාක් ආසාවෙන් බලාගෙන ඉන්නවා පුංචි ඔයා ඉස්කෝලෙට එනකම්. ඉතින් පුතේ ඔයාව ඉස්කෝලෙට ඇතුල් කරගන්න කලින් ඔයාගෙ අම්මායි තාත්තාගෙයි දෙමාපිය රැස්වීමක් මේ සැප්තැම්බර්මාසේ 30 වෙනිදා උදේ 9.00 ට අපේ ඉස්කෝලෙ පරිගණක විද්‍යාගාරයේ පවත්වන්න අපි බලාපොරොත්තු වෙනවා. ඒ හින්දම මගේ පුතාගේ අම්මා හරි තාත්තා හරි නොවරදවාම එදාට රැස්වීමට එන්න කියන්න. ඔයා එදාට මොන්ටිසෝරි යන නිසා එන්න ඕනා නෑ. හැබැයි අම්ම හරි තාත්තා හරි එවන්න මතක ඇතුවම. අපේ ලොකු ඉස්කෝලෙට ඔයාට එන්න ඕනැ දවස එදාට අපි අම්මට හරි තාත්තට හරි කියනවා. එතකම් ඔයා පරිස්සමින් සතුටින් ගෙදර ඉන්න හොඳද පුතේ.
මීට.
ලොකු සර්

මෙම විදුහලේම සිටින ළමුන් ගණන 118 කි. මෙවර එක වසරට ළමුන් 11 දෙනෙකු ඉල්ලුම් කර තිබේ. එම ළමුන් 11 දෙනාටම මෙලෙස ලිපියක් යවා තිබේ. විදුහල්පති බණ්ඩාර මහතා පවසන්නේ තමාට මේ අමුතු දෙයක් නොවන බවයි. ඔහු පවසන්නේ මෙම බඳවා ගන්නා ළමුන් උසස් අධ්‍යාපනය දක්වා තම පාසැලේ රදවා ගැනීම අරමුණ බවයි. බණ්ඩාර විදුහල්පතිවරයා පාසැලට පැමිණෙන්නේ කිලෝමීටර් 70 ක් දුරක සිටය. ඔහු දිනකට කිලෝමිටර් 140 ක් පමණ යතුරුපැදියෙන් ගමන් කරයි.

මෙම ලිපිය ලැබුණු සඳලි දියණියගේ දෙමාපියන් පවසන්නේ එම ලිපිය දුටු මොහොතේ ඔවුන් දෙදෙනාටම දෑසට කදුළු ආ බවයි. එය දියණියටද සතුට ඉහවහා ගිය දිනයක් වූ බව එම දෙමාපියන් පවසයි.
මෙම ලිපිය සමාජමාධ්‍ය තුළ සංසරණය වීමත් සමඟ එයට ප්‍රතිචාර දක්වමින් කවි ලියවී තිබුනේ පය 24 ක් යන්නටත් ප්‍රථම වීම විශේෂයකි. මේ ඒ අතරින් කවි කිහිපයකි.

ආදරණීය ලොකු සර්ට…..

මනාවට සෙනෙහස ඔතා එව්
ලිපිය ඊයේ හමුවුනා..
කලා කෘතියක සියුම් තැන් එහි
තිබී හද මත ගෑවුනා..
ගලාගෙන යන ගඟක දිය මෙන්
හිනා පෙණපිඩු වැඩිවුනා..
ඔබේ ලිපියේ අකුරු කැටි මත
සතුටු කඳුලැල් විසිරුනා..
සදාකාලික පොතේ දුයිෂෙන්
ඇත්තටම අද හමුවුනා..
මලානික වූ ලෝකයට යලි
ප්‍රේමයේ ගුණ බෝ වුනා..

-(අසේල ජයකොඩි කිතුල්ගල)

දයාබර ලොකු සර්

අයනු ආයනු ගලපගන්නට බැරිව මගෙ හිත ගොළු වුණා
වචන අම්මගෙ අතින් දැම්මද කියල සැකයක් ඇති වුණා
ටවුමෙ ලොකු ඉස්කෝල හීනය යටි හිතට වදයක් වුණා
ලොකු සර් එවු ලියුම දැකලා එයා සතුටින් ඉපිලුණා

රෑක අලි රංචුවක් ඇවිදින් වැනසුවා ගෙයි දඬු වැට
වැටක් නියරක් පවා අද වින කරනවා නිල් ගොයමට
පොතේ විතරක් දැකපු දුයිෂෙන් හමු වුණේ මගෙ පිනකට
අවසරද බුදු පුදට යන්නට කැලේ පිපෙනා මලකට

ගලෙන් බිඳි වැව ඇසුණු පමණින් සිනාසෙයි වන්නියෙ කියා
කුරුඳුවත්තේ මහත්තැන් ළඟ තිබේවි ද මුදු ගති දයා
පුංචි මට නුඹ එවපු ලිපියක් රටක් කියවයි නෙතු අයා
ඉතින් නවතිමි හෙට දිනේ මම එනතුරා විදුමව් සොයා

-කෝෂිලා සෙව්වන්දි

ප්‍රධාන ඡායාරුපය අන්තර්ජාලයෙන් 

Leave A Reply

Your email address will not be published.

nineteen − thirteen =