කොමියුනිස්ට් චීනය හදිසියේම ධනවාදී රටක් බවට පත්වුනේ කොහොමද?

 

තමන්ගේ චින්තනය හැඩගැස්වූ දාර්ශනිකයන්ගේ හා ලේඛකයන්ගේ බුද්ධිමය හා දේශපාලනමය රචනා ගැන ඔහු ලියූ නවතම කෘතිය වන “ද කෝල් ඔෆ් ද ට්‍රයිබ්” ගැන මැඩ්රීඩ් පොත් ප්‍රදර්ශනයේදී මාරියෝ වර්ගාස් යෝසා (Mario Vargas Llosa) සිය අදහස් දක්වන ලදී. Elena Cué විසින් ඉංග්‍රීසියට පරිවර්තනය කරන ලදුව Alejandra de argos සඟරාවේ පළවු මෙම සම්මුඛ සාකච්ඡාවේ පළමු අර්ධය මෙලෙස සිංහලට පරිවර්තනය කර ඉදිරිපත් කරන්නේ එහි කියවෙන බොහෝ දේ ලංකාවේද වර්ථමාන දේශපාලනයට මැනවින් ගැලපෙන හා අදාළවන නිසාය. විශේෂයෙන් ඔහුගේ ප්‍රබන්ධයන්හි යටිපෙළ පඨිතය කියවා ගැනීමට ඔහු දරණ දේශපාලන, දාර්ශනික මතයන් හඳුනාගෙන තිබීම වඩා වැදගත් විය හැකිය.

මාධ්‍යවේදියා – වර්ථමාන ස්පාඤ්ඤ සාහිත්‍යයෙන් ඔබ ඉහළින්ම නිර්දේශ කරන කෘතිය මොකක්ද?

යෝසා – පහුගිය කාලේ පුරාවට මම කියවපු පොත් අතරින්, හාවියර් සිකාඩෝගේ “ද ඉම්පොස්ටර්” වඩාත්ම සිත්ඇදගත්තා කියන්න පුළුවන්. ඒක අපූරු පොතක්. හරියට වාර්තාවක් නවකතාවක් වගේ කියවීමක් වගේම ඒ අතරෙම කෙනෙකුට විශ්වාස කරන්න බැරි විදියේ ප්‍රධාන චරිතයක් වගේ චරිතයක් තියෙනවා. ඒක හරි විනෝදජනක වගේම ආශ්වාදනීය කියවීමක්.

මාධ්‍යවේදියා – “ද කෝල් ඔෆ් ද ට්‍රයිබ්” කියන ඔබේ ආසන්නතම පොතේ, ඔබ ලිබරල් වාදය දැඩිලෙස ආරක්ෂා කරනවා. අද තියෙන මාධ්‍ය දිහා බැලුවහම බොරු ප්‍රවෘත්ති එක්ක අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස කෙනෙක් සංසන්දනය කරන්නේ කොහොමද?

යෝසා – අපේ කාලේ තියෙන ලොකුම ප්‍රශ්නවලින් එකක් තමයි ඒක. අපි සන්නිවේදන ක්ෂේත්‍රයේ සැබෑ විප්ලවයක් දකිනවා වුනාට, ලෝකයේ සිද්ධවෙන දේවල් ගැන ඇත්ත වෙනුවට ප්‍රබන්ධවලට මාධ්‍ය ඇතුළුට රිංගගන්න ඉඩදීලා තියෙන නිසා ඇත්ත මොකක්ද කියන එක වගේම ඇත්ත වගේ පේන දේවල්වල ඇත්ත, නැත්ත හොයාගන්න අමාරු වෙලා තියෙනවා. මේවා අපේ කාලේ ප්‍රසිද්ධ පශ්චාත්-සත්‍යයන්.

මාධ්‍යවේදියා – ඕනෑම ලේඛකයෙකුගේ හෝ මාධ්‍ය ආයතනයක, ජනමාධ්‍ය දෘඩතාව නිශ්චය කරගන්න පුළුවන් වෙන විදියේ යෝග්‍යතා කාර්යංශයක් වගේ සේවාවක් නිර්මාණය කරන්න තමන්ට උවමනායි කියලා එලන් මස්ක් මෑතකදී කියලා තිබුණා. ඒ ගැන ඔබට හැඟෙන්නේ මොකක්ද?

යෝසා – ව්‍යාජත්වය හා සත්‍යවාදී බව අනුව මාධ්‍ය නිර්දේශ කරන්න සහ ඇගයීම් කරන්න පුළුවන් විශ්වසනීය, වලංගු ක්‍රමවේදයක් තියෙන්න ඇති කියලා මම හිතනවා. අද ජනමාධ්‍ය සම්බන්ධව ගත්තහම මිනිස්සු විදියට අපි මුළුමනින්ම ව්‍යාකූල වෙලා. ඒගොල්ලෝ අපේ ඇස්වලට වැලි ගහනවා. ඒත්, බේගල් ඇත්ත විදියට මවාපාලා ව්‍යාප්ත කරන එක, එකම අරමුණ කරගත්ත තාක්ෂණය තියෙන ජාතික රාජ්‍යයන් තියෙන එක තමයි වඩාත්ම භයානක. ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක පැවැත්මට විරුද්ධව ඒක දැඩි විදියට කුමන්ත්‍රණය කරනවා. ප්‍රජාතන්ත්‍රවාදය පදනම් වෙලා තියෙන්නේ බොරුවෙන් සත්‍ය මතු කරගැනීම මත. ඒ හින්දා මේ දෙක අතර සීමාව වඩා අපහැදිලි හා අඳුරු වුනොත්, මේ නින්දා සහගත පශ්චාත්-සත්‍යයන් උත්කර්ෂයට නැංවීමෙන් තර්ජනයට ලක්වෙලා තියෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදී සමාජයමයි.

මාධ්‍යවේදියා – ඒ කියන්නේ අපිව ගොනාට අන්දලා….

යෝසා – නිදහස අතුරුදන් වෙන්න පුළුවන්. ඒ වගේම ඡන්දේ දෙන වෙලාවට මිනිස්සුනගේ තේරීම් පදනම් වෙන්නේ සහමුලින්ම අසත්‍ය, අතිශෝක්තියට නංවපු, විකෘති වෙච්ච නැත්නම් සරලවම කිව්වොත් අමූලික බොරු මත.

මාධ්‍යවේදියා – ඔබේ පොතේ, යොවුන් වියේදී ඔබ මාක්ස්වාදයේ උද්යෝගිමත් යෝජකයෙක් වුණේ කොහොමද කියලා කතාකරලා තිබුණත්, කියුබාව හා සෝවියට් සංගමයට ගිය ගමනෙදි දෑසින් දුටු දේවලින් පස්සේ ඒ දෘස්ටිවාදයෙන් ඈත්වුන බව කියනවා. සමාජයේ පහළ තලයන් වැඩිදියුණු කරන්න මාක්ස් වාදයට වඩා ලිබරල් වාදය උපකාරි වෙනවයි කියලා ඔබ විශ්වාස කරනවද?

යෝසා – ඇත්තෙන්ම. දුක්ඛිතභාවය හා දුප්පත්කම මැඩපවත්වන්න හරි තුරන් කරන්න හරි දේශපාලනේ ඵලදායී වූ රටවල්, එහි පුරවැසියන් සඳහා හොඳම ජීවන රටාව නිර්මාණය කළ රටවල් දිහා බලන්න. ඒවා අතරේ එකම මාක්ස්වාදී රටක්වත් නැහැ. ඉහළම ජීවන තත්වයන් ළඟාකරගත්ත රටවල් ලිබරල් මාදාලියේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන ප්‍රජාතන්ත්‍රවාදී රටවල් වෙනවා. නොර්ඩික්ස් රටවල්වල තත්වය, උදාහරණයකට ස්විස්ටර්ලන්තය හෝ ඒ වගේ රටක් ගන්න. ආසියාවේ, වඩාත්ම සංවර්ධිත රටවල් දැනටමත් ප්‍රජාතන්ත්‍රවාදී රටවල් හෝ ඒකාධිපතිවාදය අතහැර දමා දැන් ලිබරල් හා ප්‍රජාතන්ත්‍රවාදී සමාජයන් වෙත වැඩි වැඩියෙන් ළඟා වෙමින් ඉන්න රටවල්.
අනෙක් අතට, මාක්ස්වාදී රටවල් එකින් එක බිඳී ගොස් අතුරුදහන් වෙලා තියෙන්නේ කිසිම බාහිර මැදිහත් වීමක් නිසා නොව, ඕනෑම සමාජයක මූලික අවශ්‍යතා, ආශාවන් සහ මිත්‍යාවන් සපුරාලීමට තම ආයතනවලට තියෙන නොහැකියාව හින්දා.

මාධ්‍යවේදියා – සෝවියට් සංගමය බිඳවැටුණේ ඇයි?

යෝසා – ඒකට පහරදුන් නිසා නෙමේ සෝවියට් සංගමය බිඳවැටුණේ. ඒක බිඳ වැටුණේ හරිහමං රැකියාවක් වගේම පිළිගත හැකි ජීවන තත්වයක් ලබා දෙන නවීන කාර්යක්ෂම සමාජයක් බිහි කරන්න තිබ්බ නොහැකියාව හින්දා.

මාධ්‍යවේදියා – කොමියුනිස්ට් චීනය හදිසියේම ධනවාදී රටක් බවට පත්වුනේ කොහොමද?

යෝසා – සියළුම පුරවැසියන්ට පිළිගන්න පුළුවන් ජීවන තත්වයක් හා රැකියා බිහිකරන්න චීනයේ සාමූහික හා රාජ්‍යය අසමත් වීම නිසා ඒකත් සිද්ධ වුනේ.කොමියුනිස්ට් මාදිලියේ සමාජවාදය වැඩකරන්නේ නැහැ කියන එකට වඩාත්ම තීරණාත්මක හා නිශ්චිත සාක්ෂිය මේක කියලා මම හිතනවා.

මාධ්‍යවේදියා – ඇඩම් ස්මිත්, පොපර්, හයෙක්, ඔර්ටෙගා වයි ගැසට්, රේමන්ඩ් ඇරොන්, යෙසායා බර්ලින් සහ රිවෙල් ඔබේ පොතේ දැක්වෙන ලිබරල් චින්තකයින් හත් දෙනා. මේ හැමෝටම පොදු දෙයක් තියෙනවද?

යෝසා – ඒ අයගේ ඉවසිලිවන්ත ආකල්පය, ප්‍රත්‍යක්ෂ හා පැහැදිලි ලෙස නොවෙනස්වන බව පිළිගන්නවාට වඩා පෙනනවාට වඩා සත්‍යය නොපැහැදිලි හා අඳුරු බවත්, ඒ නිසා බොහෝ වැරදි වෙන්න පුළුවන් බවත් පිළිගැනීම. ඒ වගේම විශේෂිත ක්‍රමවේදයන් හෝ නිශ්චිත මූලධර්ම අධිකාරී ආකාරයෙන් පැනවීමට හෝ ආධා‍න ග්‍රාහීත්වයට එරෙහිව දේශපාලන ක්ෂේත්‍රය තුල හැමවිටම සටන් කරන්න ඕන. මේ ක්ෂේත්‍රය තුළ, සීමා රහිත ඉවසීමේ මූලධර්මයක් බවට ලිබරල් වාදය පත්ව ඇති නිසා ප්‍රචණ්ඩත්වයට එරෙහි හොඳම ආරක්ෂාව ඒ ඉවසීම කියලා මම විශ්වාස කරනවා.

මාධ්‍යවේදියා – හයෙක්ගේ නව ලිබරල්වාදයට මේ නවීන, වඩාත් රැඩිකල්මය ලිබරල්වාදය සමඟ සම්බන්ධයක් තියෙනවද?

යෝසා – නිදහස් වෙළඳපොල ප්‍රායෝගිකව සියළු ගැටලු විසඳයි කියන නොසැලෙන විශ්වාසයේ හිටපු නිසා හයෙක් බොහෝ විවේචනවලට ලක්වුණා. අන්තවාදියෙක් විදියට ඔහුව හංවඩු ගැහුණා. ඒකෙ යම් ඇත්තක් තියෙනවා. ඔහු බොහෝ වෙලාවට තමන්ගේ විශ්වාසයන් අතිශෝක්තියට නැංවුවා. අයියන්දේට වඩා පිනෝශේගේ පාලනය යටතේ චිලියේ වැඩි නිදහසක් තිබුණා කියන, අමුලික බොරු කියලා මම හොයාගත්ත මත පවා ඔහු දැරුවා. ඒ නින්දිත ප්‍රකාශය නිසා තමා හයෙක්ව තදබල ලෙස හා නිවරදිව විවේචනයට ලක්වුණේ.
අයියන්දේ අන්තවාදියෙක් වුනත් මිනිස්සු මරාදාන හෝ මාධ්‍ය වාරණය කරන ආඥාදායකත්වයක්, ප්‍රජාතන්ත්‍රවාදී සමාජෙකට වඩා නිදහස් කියලා හිතන එකම මට අනුව තදබල වැරැද්දක්.

මාධ්‍යවේදියා – ලිබරල්වාදය හරියන්නේ කොතනටද?

යෝසා – ලිබරල්වාදයට සමීප ප්‍රවණතා මේ මොහොතේ තියෙනවා. උදාහරණෙකට ගත්තොත් සමාජ ප්‍රජාතන්ත්‍රවාදය බොහෝවෙලාවට ඒක මත පදනම් වෙනවා. ඒත් කොන්සර්වේටිව්වාදයේ අංගයන්ද ඒ මාඉමේ තියෙනවා. මම හුවා දක්වන තැචර් සහ රේගන් යන දෙදෙනාම ගතානුගතික නායකයන් වුනාට, ඔවුන්ගේ රටවලට බොහෝ ප්‍රතිලාභ ගෙන දුන්, නොවරදවාම හා ගැඹුරින් ලිබරල් ආර්ථික ප්‍රතිසංස්කරණ සිදු කරපු අය. මම හිතන්නේ ලිබරල්වාදය හැදිලා තියෙන්නේ විවිධාකාර සූක්ෂමතාවයන්ගෙන්, විවේචනයට විවෘත නීති හා ප්‍රතිසංස්කරණ වලින් සමන්විත ඒවා ස්ථීර ප්‍රතිසංස්කරණවාදය විදියට පොපර් හැඳින්වූ ශක්‍යතාව වැඩිදියුණු කිරීම හා ක්‍රමානුකූල ශෝධනය පෝෂණය කරනවා. අවසාන වශයෙන්, ආර්ථික හා සමාජ සංවර්ධනය සඳහා හොඳම ක්‍රමවේදයන් මෙන්ම ප්‍රජාතන්ත්‍රවාදී ඉවසීම සඳහා රටවලට ඉඩ දී ඇති මූලධර්මය මේක තමයි.

මාධ්‍යවේදියා – ධනය නිෂ්පාදනය මූලික වටිනාකම වෙලා තියෙන ලෝකයක බුද්ධිමතුන්ගේ ක්‍රියාකාරීත්වය මොකක් කියලද ඔබ සිතන්නේ? බුද්ධිමතුන් සමාජයේ හා දේශපාලනයේ ක්‍රියාකාරී භූමිකාවක් ඉටුකළ යුතුද?

යෝසා – සහභාගීවීම මූලික ප්‍රජාතන්ත්‍රවාදී නියමයක් කියලා මම හිතන්නේ. ඔයා ප්‍රසිද්ධ විවාදයකට සහභාගී වෙන්නේ නැත්නම්, ඔයා ඒක ලිඛිතව කළත් පැමිණිලි කරන්න ඔයාට අයිතියක් නැහැ. දේශපාලනය තරම් භාෂාව විනාශ කරන වෙන මුකුත්ම නෑ. මොකද සත්‍යය හෝ යථාර්ථය ප්‍රකාශ නොකරන කියමන්, වාක්‍ය ඛණ්ඩ, ශබ්ද කෝෂ තමයි දේශපාලනය කියන්නේ. මෙන්න මේ කලාපයෙදි බුද්ධිමතුන්ට විශේෂ කාර්යයභාරයක් පැවරෙනවා. ඒ වගේම තවත් මට්ටමකින් අදහස් නැති සමාජයක් කියන්නේ මරණය තීන්දු කරපු එකක් කියලයි මම දකින්නේ.
-රශ්මික මන්ඩාවල

Leave A Reply

Your email address will not be published.

11 − six =