මනුස්ස හදවතේ ඉසියුම් නිල අල්ලන ඉසුරු චාමරගේ ‘ගැහැනු පිරිමි මල් පලතුරු’

‘ගැහැනු පිරිමි මල් පලතුරු’ ඉසුරු චාමර සෝමවීර – කෙටිකතා
මට ඉසුරු කිසිදා භෞතිකව මුණගැසී නැත. එහෙත් අපි වතාවන් ගණනාවක්, සමාන්තර ලෝකවල වෙසෙනා හඬ මිස කය නැති අබවස් සත්ත්වයින් මෙන් කතාබස් කර ඇත්තෙමු.
එහෙත්, ඊට වඩා මට දැනහැඳුනුම්කම්, හිතවත්කම්, හාදකම් ඇත්තේ ඉසුරුගේ ලියැවිලි සමගිනි.
එසේ කීවත්, මා පොතක් ලෙස අතට ගෙන කියවා ඇත්තේ ඉසුරු ගේ එකම එක පොතකි. ඒ ‘අප දෙදෙන මැද මහමුහුද’ කාව්‍ය සංග්‍රහය යි. ඒ පොතත්, PDF පිටපත් කිහිපයකුත් හැරෙන්නට, මා ඉසුරු කියවාගෙන ඇත්තේ සයිබර් අවකාශයේ පලවූ දෙයිනි. ඒ අතර කෙටිකතා ද, කවිද බහුල විය.
එහෙත් මේ මා කියවා ගත් ටික මට හොඳට දිරවාගැනීමට හැකි වූ බැවින් ද, ඒවා යහමින් පත්තියම් වූ බැවින් ද, ඉසුරු ගේ ලියැවිලි තේරුම් ගැනීමට මට ඒ ටික දැනට ප්‍රමාණවත් ය.
ඉසුරු අති සූක්ෂම ලියන්නෙකි. ඔහු අල්ලන්නේ මනුස්ස හදවතේ ඉසියුම් නිල ය. ඔහු ආලෝකයට අල්ලා පෙන්වන්නේ මනුස්සාභ්‍යන්තරයේ කාටත් පෙනෙන, එහෙත් කිසිවකු නොබලන, ඇත්තටම නම් මගහැර යන පදාස ය. ඔහු ගොඩනගන්නේ එදිනෙදා ජීවිතයේ සිද්ධි ය – එහෙත් ඔහු හසුකරගන්නේ ඒවායේ කවුරුත් නොදකින මානයන් ය.
කොටින්ම ඔහු අපේම පුංචි පුංචි දේවල්වලට අන්වීක්ෂ අල්ලා අපට නොපෙනෙන පැති, අප මගහරින පැති, නොදැක්කා සේ සිටින පැති, වදන් නම් වර්ණයෙන් තමන්ගේම විදියකට පින්තාරු කරන සිත්තරෙකි.
වෙසෙසින් කිවයුත්තේ ඔහු ලිංගිකත්වය පිළිබඳ කාරණා නොබියව ද, සූක්ෂමව ද අල්ලන බව ය. විශේෂයෙන් ඔහු සමකාමය සිය ලියැවිලි තුළට අවශෝෂණය කරගන්නා ආකාරය සුන්දරකමක දැවටූ ගින්දර කැරලිකාරකමකි.
මට ප්‍රස්තුත වන ‘ගැහැනු පිරිමි මල් පලතුරු’ අලුත්ම පොතක් නොවන බව ඔබ දන්නෙහි ය. එහෙත් එය ඔබට මගහැර යා නොහැකි ‘අලුත්’ පොතකැයි මට සිතේ. එසේම, එය මා කියවා නැති බවත් දැන් ඔබ දන්නෙහි ය. එහෙත් මා ඉසුරු කියවාගෙන ඇති ප්‍රමාණයෙන් ද, උක්ත කෘතිය ගැන මේ වනවිටත් ලියැවී, කියැවී ඇති දෙයින් ද, ‘ගැහැනු පිරිමි…’ රාමු විරහිත දුර රූපයකට හසුකරගැනීම මට අමාරු නැත.
මුහුණුපොත් අවකාශයේ මා දැක ඇති සාවධානම කියවන්නෙක් මෙන්ම තමන් කියවන දේ ගැන වඩාත්ම පිළිවෙලකට සටහන් තබන්නෙක් ද වන Naleendra Weerapitiya මේ පොත ගැන තබා ඇති සටහනක කුඩා කොටසක් මෙහි උපුටමි.
“එම කෙටි කතා හත තුල ඉවතලිය හැකි කෙටිකතාවක් නොමැතිය – ඇත්තේ, මා මෙතෙක් කියවා ඇති හොඳම කෙටිකතා, ඉතා හොඳ කෙටිකතා, සහ සාර්ථක කෙටිකතා පමණි…”
අවසන නලීන්ද්‍ර මෙසේ කියයි. “…2019 වසරේ මීට වඩා හොඳ කෙටිකතා සංග්‍රහයක් නිකුත් ව ඇත්තේ නම්, එය සිංහල කෙටිකතාවට මගුල් ලකුණකි.”
ඉසුරුගේ ‘…මහමුහුද’ මෙන්ම ‘ගැහැනු පිරිමි…’ ද, මා දන්නා තරමින් අදාළ වසරවල කිසිදු සම්මාන උළෙලකට වැද්දගත්තේ නැත. මගේ අදහස නම්, ඉසුරුලාගේ ලියැවිලි දැනට පවතින්නේ ලංකාවේ සම්මාන උළෙලවලට හෝ ඒවායේ ‘විනිසුරන්ට’ අතපොවන්නට හැකි මානයෙන් ඔබ ඉමක බව ය. අමාරුවෙන් හෝ ඔවුන් ඒවා අල්ලාගන්නට ගිය විට සිදුවන්නේ, ඒවායේ ඇති මනුස්ස සාරය අතැඟිලි අතරින් රූරා හැලී, ලිංගිකත්වය ඇතුළු ‘තහංචියේ හේතු කාරණා’ පමණක්, හස්ත මෛථුන්‍යයෙන් අත ඉතිරිවන සුකුරු සුඟක් සේ ඔවුන් අත ශේෂවීම ය. ඉදින්, ඉසුරු වැන්නකු මේ සම්මාන සඳහා විනිශ්චය කරන්නවුන්ට සිදුවන්නේ, අත ඉතිරිවූ ඒ උකු මණ්ඩි අනුභව කළ, මානවයාගේ ආදි මුතුන්මිත්තාගේ අද රූපකායට සිදුවූ දේ ය.
විශේෂයෙන් අද අධිපති කතිකාව ග්‍රහණයට ගෙන සිටින මතවාදී උඩුවියන යට ඉසුරුලාගේ ලියැවිලිවල සාරය, විනිසොරන්ගේ සදාචාරවාදී හා ගෝත්‍රික ඇඟිලි අස්සෙන් රූරා වැගිරී, එහි මණ්ඩිය ඔවුන් අත වරදකාරී උකු තරලයක් පමණක් නොව, භීතික ඇටකටු, මිනීඅළු හෝ ජීව බෝම්බ, මූනිස්සම් ලෙස ද ඉතිරිවීම පුදුමයක් නොවේ.
ඔවුහු මෙවන් සාහිත්‍යයකට විනිශ්චයකාරකම් කිරීමට ගොස්, තමන් අත ඒ ඉතිරිවන දෑ කටේ දමාගැනීමද, ඉන්පසු විරවාගැනීමද දිගින් දිගටම කරමින් සිටින්නාහු ය.

-සනත් බාලසුරිය -පුස්තකඇසුර

Leave A Reply

Your email address will not be published.

four + 1 =