“ස්ටෑන්ඞ් අප් කොමඩි” තැප්‍රොබේන් එකේ කරන්නෙ ආන්ඩුවක් කරන්න ඕන වැඩක්

ඊයෙ(22) ලංකාවෙ පලවෙනි ස්ටෑන්ඞ් අප් කොමඩි නයිට් එක තැප්‍රොබේන් එකේ තිබුනා. මීට කලින් තැන තැන එක එක අය තනි තනියෙන් විහිලු කලාට රොත්තක් එකපාරට ෂෝ එකක් වගේ විහිලු සපයන්න පටන් ගත්තෙ ඊයෙ. ස්ටෑන්ඞ් අප් කොමඩි කියන්නෙ ලංකාවෙ තිබුන ආර්ට් එකක් නෙමෙයි. ඒක ලංකාවෙ කිසිම සාම්ප්‍රදායික ආර්ට් එකකින් පරිවර්තනය වෙන එකකුත් නෙමෙයි. ඒක තනිකරම බටහිර ආර්ට් එකක්. ටිකක් හරි පෙරදිග මීට සමාන ආර්ට් එකකට තියෙන්නෙ බණ කියන එක. නැත්තං පොලිටිකල් ස්ටේජ් එක.
ස්ටෑන්ඞ් අප් කොමඩි කියන්නෙ මයික් එකක් ඉස්සරහට එන ආර්ටිස්ට් කෙනෙක් ඉස්සරහ ඉන්න ඕඩියන්ස් එකට අමුවෙන් කෙලින් විහිලු සපයන එක. නිකං ඇඟ අඹරන බඩ දඟලන විහිලු වෙනුවට මං ලෝකෙ කැමති ගොඩක් දාර්ශනිකයො මට ස්ටෑන්ඞ් අප් කොමඩි ස්ටේජ්වල මුනගැහිලා තියෙනවා. මේ ආර්ට් එක ගැඹුරු වෙන්න ගැඹුරු වෙන්න ඒ විහිලු දාර්ශනික වෙනවා.

විහිලුකාරයො තොගයක්

හසා මීට අවුරුදු කීපෙකට කලින් ස්ටෑන්ඞ් අප් කොමඩි සීරියස් වැඩක් විදිහට කරට ගත්තා. තනියම විහිලු කරන්න ගත්තා. ඌ මේක කරගෙන යද්දි මං හිතුවෙ උගේ යූටියුබ් චැනල් එකකින් මේක කෙලවර වෙයි කියල. ඒත් යූටියුබ් එක උගේ ටීසර් එක විතරයි. ඌට ඕන වුනෙම මේක මිනිස්සු ඉස්සරහට ඇත්තට ගේන්න. බාර්වල, තැන් තැන්වල පොඩි පොඩි විහිලු කරමින් හසා වැඬේ ප්‍රැක්ටිස් කරගෙන ආවා.
ඊයෙ මං හිතන්නෙ මේ උත්සාහයේ මහා පිපිරුම. විහිලුකාරයො තොගයක්, මෙච්චර කල් අපි විහිලුකාරයො කියල දැනගෙන නොහිටපු උන් සෙට් එකක් ඊයෙ ස්ටේජ් එකට නැග්ගා. පැය තුනක් විතර දිගට නොනිමෙන හිනාවක්. ඉතිරෙන පිරෙන ඕඩියන්ස් එකක්.. අපිට විහිලු බලන්න වුනේ ඉස්සි ඉස්සි. ඒක ඇඟේ මයිල් කෙලින් වෙන රාත්‍රියක්.
පලවෙනි වතාවට කොමඩි කරන උන්ගෙ පවා කිසි අඩුවක් කියන්න නැති තරමට වැඬේ පර්ෆෙක්ට්. එක එකා එක එක ලේයර්ස්වල. ලයිෆ් එකද, දේශපාලනේද, සමාජ ප්‍රශ්නද හැම එකක්ම එතන විහිලුවක් වුනා. අපි අපිටම උඩ පැන පැන හිනාවුනා. ලංකාවෙ මේ වෙද්දි ඉතුරුවෙලා තියෙන එකම දේ හිනාවෙන්න විතරයි. හිනාවීම කියන්නෙ අතිශය දේශපාලනික ප්‍රතික්‍රියාවක්.
 

ඇයි ගෑනුන්ට විහිලු බැරිද?

හසා මෙතෙක් කරපු කොමඩි අතර උගේ ක්ලයිමැක්ස් එක ඊයෙ සටහන් කළා කියල මට හිතෙනවා. ඒක ඌ කලේ තනියම නෙමෙයි. තව කොලිටි විහිලුකාරයො තොගයක් ඌ එක රැයින් බිහි කළා. අලුතෙන් ආර්ට් එකක් හදන බෝ කරන මිනිහෙක් දැක්කම හිතට දැනෙන්නෙ බදාගෙන මිරිකගන්න තරම් ආදරයක්. ගෞරවයක්.
චාමරයා රටේ ව්‍යවස්තාව විහිලුවක් කළා. ආසිරියා උගේ ඇඞ්වර්ටයිසින් රස්සාවෙන් රට්ටු හිනැස්සුවා. නදියා සිල්වලගෙ ඉතිහාසෙන්.. කළණයා උගේ කොට ජීවිතෙන්. ලකයි සිකයි පවා ස්ටේජ් එකට නැග්ගා. සමහර විහිලු බර වැඩි හින්දා දුමක් දාන්න එලියට ගිය ටිකට මට විහිලුවක් දෙකක් මිස් වුනා. විහිලු කරන කෙල්ලෙක් නොහිටපු එක විතරක් අඩුවක් වගේ දැනුනා. ඇයි ගෑනුන්ට විහිලු බැරිද?
මට හිතෙන විදිහට ලංකාවෙ වැඩියෙන්ම බෝවෙන්න, සෙනග පිරෙන්න නියමිත ආර්ට් එක ස්ටෑන්ඞ් අප් කොමඩි. වේදකා නාට්‍ය, සිනමාව, සංගීතය කිසි එකකට බැරි වෙනවා ඒ ආර්ට් එක තරම් ළඟට යන්න. බණ අහලා පුරුදු අපිට ස්ටෑන්ඞ් අප් කියන්නෙ බඬේ බත් වගේ වෙනවා. කවුරු හරි හිතනවා නම් ලංකාවෙ මිනිස්සු හිතන හැටි වෙනස් කරන්න, කරුනාකරලා දාර්ශනික සංවාද කතිකා වේදිකාවලින් බිමට බහින්න. ස්ටෑන්ඞ් අප් කොමඩි ෂෝ එකක් අරන් රට වටේ යන්න. දරුනු නිලවලට හිනාවෙවී වෙඩි තියන තුවක්කුවක් ඒක.
ස්ටෑන්ඞ් අප් කොමඩි කියන එක කොලඹින් පිට මිනිස්සු බහුතරයකට තේරෙන්නෙ නැති වෙයි. අපිට පුළුවන් ‘හිටං විහිලු’ වගේ නමක් එක්ක ගමට විහිලු අරන් යන්න.
 තැප්‍රොබේන් කියන්නෙ වෙනම රටක්

සන්නා තැප්‍රොබේන් එකේ කරන්නෙ ආන්ඩුවක් කරන්න ඕන වැඩක්. හැම දවසකම එතන අලුත් ආර්ට් එකක් හැදෙනවා. හුස්ම ගන්න මිනිස්සු පිරෙනවා. සංස්කෘතික කේන්ද්‍රයක් කියන්නෙ එතන ආනුභාවය සරල කිරීමක් කියල මං හිතන්නෙ. තැප්‍රොබේන් කියන්නෙ වෙනම රටක්. වෙනස් විදිහට හිතන පතන මිනිස්සු ඉන්න ඩයස්පෝරොවක්.
-චින්තන ධර්මදාස(fb)

Leave A Reply

Your email address will not be published.

5 × 5 =