‘සරසවි දියණියෝ’ රෝයල් තැප්‍රොබේන් පොත් පලසේ

අසූව දශකයේ අග අප පාසල් යද්දී, වැඩිමහල් අක්කලා අත ගැවසෙන අපූරු පත්තර විශේෂයක් විය. අතින් අත හුවමාරු කරගෙන කියවූ නමුත් මේ පත්තර විශේෂය අකුරක්වත් පොඩි නොවන පරිදි සීරුවට, පරෙස්සමට අල්මාරිවල තබා පූජනීය වස්තු විශේෂයක් ලෙස රැකබලා ගැනීමට ඔවුහු පුරුදු වී සිටියහ. එවන් අරුමැසි පත්තර පිටු අතර ‘සරසවි දියණියෝ’ නම් නවකතාවක් පලවී තිබෙනු දුටු මුත්, කියවීමට නොලැබුණේ නවකතා කියවීමේ රසය ඇවිස්සී නොතිබුණු නිසාම නොව පිටු එකිනෙක වෙන් කිරීම, කිලිටි කිරීම අප අතින් වෙතැයි සිතා අයිතිකාරියෝ අපට ඒවා දෙන්නට මැලි වූ නිසාය.
කෙසේ නමුත් පසු කලකදී ගමේ සණස සමිතියේ කුඩා පුස්තකාලයක් වීවෘත වූ අතර ඒ වෙත වසරකට වරක් සැප්තැම්බරයේ අලුත් පොත් ගෙන ඒම මහමෙරක් වූ ඉමිහිරි ඇත්දැකීමක් වූයේය. එලෙස පුස්තකාලයට පැමිණි ‘සරසවි දියණියෝ’ පළමු මුද්‍රණය බැහැර ගෙන ගොස් කියවා බලද්දී ඉන් වහනය වූ කුතුහලය තවමත් මතකය. පවිත්‍රා, විමුක්ති, තංගමලේ තේවත්ත ආදී නම් ගම් සමග එකල සරසවි ජීවිතය ගැන මනෝ චිත්‍රයක් ඇඳී ගිය අතර එම ලෙටර්ප්‍රෙස් අකුරු සමග පිටකවරය හා ලේඛකයාගේ නම ද මතකයේ තැන්පත් වූයේය. එහි කවරයක් කවදා හෝ මා’තින් සැරැසේ යැයි එකල සිතුණේ නැත. ඒ නමුත් එවන් අසිරිමත් මොහොතක් උදා වී ඇත්තේය. අසූව දශකයේ අග මතක ශේෂයන් සමග මාතින් වැසුණු ‘සරසවි දියණියෝ’ දැන් රෝයල් තැප්‍රොබේන් පොත් පලසේ ය.
-විකුම් ජිතේන්ද්‍ර

Leave A Reply

Your email address will not be published.

15 − 14 =