සුදර්ශන සමරවීර නම් පිපාසිත හදාරන්නාගේ ‘නම්’ නවකතාව

සුදර්ශන සමරවීර ගේ අලුත්ම නවකතාවේ නමත් අලුත් ය. එය ‘නම්’ නම් වේ. මා දන්නා තරමින් ‘නම්’ ඔහුගේ පළමු නවකතාව ය.
සුදර්ශන හා මා හමුවී කතාබස් කර ඇත්තේ එකම එක දවසකි. හද්ද වනාන්තරයක ඉන්නා ඔහුත් කොළඹ සිටි, කොළඹ තියා රටෙත් නැති මාත් කොළඹ සිටි දෛවෝපගත දවසකි ඒ. එදා ඔහු මට තෑගිකළ ඔහු ගේ පළමු පොත් දෙක මේ ලියන මේසය මත නැඟුණු කුඩා පොත්රාක්කයේ දැනුත් තිබේ. ඒ ‘සුනෙත් කාන්තගේ ශෝකාන්තය’ කෙටිකතා පොත සහ ‘මීදුමාරේ සළු උනා’ නම් කවි එකතුව යි.
එහෙත් සුදර්ශන හා මා ලියැවිලිවලින් හඳුනන්නේ ඊටත් බොහෝ කලක පටන් ය. ඔහු ගේ සයිබර් අවකාශයේ පළකැරී ඇති බොහොමයක් දෑ මම කියවා ඇත්තෙමි. ඒවායින් වැඩිහරියක් නිර්මාණවලට වඩා විචාර රචනා ය. ඒ සියල්ලත්, මා සතු ඉහතින් කී පොත් දෙකත් අතරින් මට ලියන්නෙක් විදියට සුදර්ශන හා ප්‍රමාණවත් දැන-ඇඳුනුම්කමක් තිබේ.
ඒ ඇඳුනුම්කමට අනුව සුදර්ශන යනු පිපාසිත හදාරන්නෙකි, වචනයේ පරිසමාප්ත අරුතින් ශාස්ත්‍රවන්තයෙකි, හැදෑරීම් ද ඇත්ත ජීවිතය ද මනා අනුපානයට ගෙන නිර්මාණකරනය තුළ මාත්තු ලන්නට බුහුටිකම් දක්වන්නෙකි.
මගේ කියැවීමේ හැටියට සුනෙත් කාන්තගේ ශෝකාන්තය සිංහල කෙටිකතාවට එකතු වූ වැදගත් කතා කිහිපයකින් ම සමන්විත, මඟහැර යා නොයුතු කෙටිකතා එකතුවකි. ඔහු තමන් නිර්මාණශීලී ලියන්නකු පමණක් නොව දැනුවත් ලියන්නකු ද ලෙසින් ඒ කතා එකතුවෙන් කියවන්නිය අබියස සිය අනන්‍යතාව සෑහෙන දුරකට ස්ථාපිතකර සිටියේ ය.
මා බලාපොරොත්තු වන්නේ ‘නම්’ තුළින් ඔහු ඒ අනන්‍යතාව තවත් තහවුරු කර ඇති බව දැකීමට ය.
මගේ ඒ සිතිවිල්ලට දෙස් දෙන ලියැවිලි කිහිපයක් ම මුහුණුපොතේ නෙත ගැටුණු බවට මතක ඇතත් ඒ අතරිනුත් මගේ සිත අනිල් හේරත්
ගේ සටහනකට වෙසෙසින් බැඳිණි.
“…පිටු පන්සිය එකයි. පරිච්ඡේද හතරයි. සින්දු විසි දෙකයි…” කියා පටන්ගන්නා, මේ නවකතාව දැනටමත් කියවා ඇති අනිල් සිය සටහනේ බහාලන මේ කාරණා වෙසෙසින් අවධානයට යොමුවුව මනා ය.
“…ටිකක් සාහිත්‍යයමය විදිහට කියනව නම් ඒ පොත ඉල්ලන්නෙ නොඉඳුල් කියවීමක්… …ඒ වගේම මෙච්චර කාලයක් සිංහල සාහිත්‍යය ඇතුලෙ ගෙඩි පිටින් අත්හදාබලන්න යෑම නිසාම පාඨකයා විසින් ප්‍රතික්ෂේප කෙරුණු තාක්ෂණික උපක්‍රම කිහිපයක්ම මේ පොතේදි හරියටම පිරිද්දිල කතාවත් එක්කම දිස්නෙ දෙන විදිහට හසුරුවාගන්න රචකයා සමත්වෙලා තියෙනවා…”
මෙය සාවධාන කියවන්නන් සැලකිය යුතු පිරිසකට එකඟ වියහැකි කියමනක් වේ නම්, ‘නම්’ හි නම වැදගත් සාහිත සනිටුහනක් වනවා ඇත.
එසේම අනිල් “මේ පොත බොහෝ අය කියවනවා නම් හොඳ පොතක් බවට..” නිර්දේශ කරයි.
සුදර්ශන යනු සුපර් ස්ටාර් කෙනෙක්, සෙලෝලයිඩ් වීරයෙක් නොව අපේ නිර්මාණ සාහිත්‍යයට බරසාර මැදිහත්වීමක් කරන්නට සිටින සුවිශේෂ ලියන්නෙක් ය, වැදගත් හදාරන්නෙක් හා කියවන්නෙක් ය, ඒ ඔස්සේ නිර්මාණකරනය හා ශාස්ත්‍රීය මැදිහත්වීම යන දෙපැත්තෙන් ම අපේ සාහිත්‍ය පොහොණිකරන්නෙක් ය යන්න ඔහු ප්‍රකට කර සිටියේ ‘නම්’ එළියට එන්නට පෙර සිට ය.
‘නම්’ ඒ අනන්‍යතා සලකුණ තවත් තහවුරු කර ඇති බවට ලොකු සැකයක් මවෙත නැත.
-සනත් බාලසුරිය
-පුස්තකඇසුර

Leave A Reply

Your email address will not be published.

17 + 3 =