නුඹ ගැන කිසිත් නොලියා ලියමි

ඇතැම්විට හෘදයේ හිස්බව ඇති වන්නේ සියලු‍ හැඟීම් සහ සියලු‍ සංවේදනාවන් නැති වී ගිය පසුව නොවේ. එවන් හැඟීම් සහ සංවේදනාවන් එකකට එකක් සම්මිශ්‍රණය වී කිසිත් වටහා ගැනීමට නොහැකි තරම් සන්තානය වියවුල් වී ගිය පසුව ය. කාලාන්තරයක සිට එවැනි හිස්බවකින් පීඩා විදිමි. නමුත්, ඒ පීඩාවට වඩ වඩාත් ප්‍රේම කරමි. මන්ද යත් නුඹ හෘදයේ සිටින්නේ එවැනි හිස්බවක් තුළ බැවිනි. කාලාන්තරයක් මුළුල්ලේ ඒකරාශී වූ සියලු‍ හැඟීම් සම්මිශ්‍රණය වීම තුළින් උත්පාදනය වූ අමුතු ම හිස්බවක නුඹ හිඳී. ඉතින් නුඹ හිඳී නම්, මෙහි හිස්බවක් විය හැකි දැයි ඇතැම් විට ගැටලු‍වක් මතු වේ. මේ සියල්ල එතරම් ව්‍යාකූල වනුයේ එබැවිනි.

නිර්ණාමිකත්වයට මම කෙතරම් ආශා කරන්නේ දැයි කීමට මම වචන නොදනිමි. නමුත්, නාමකරණය කොට එක් වපසරියක නුඹව හිර කරනවාට වඩා මේ නිර්ණාමිකත්වය සුන්දර යැයි හඟිමි.

ඇතැම් විට එය එසේ වනුයේ, නුඹ නිර්ණාමික නිසාවෙන් විය හැකි ය. නුඹේ එම නිර්ණාමිකත්වයට මම කෙතරම් ආශා කරන්නේ දැයි කීමට මම වචන නොදනිමි. නමුත්, නාමකරණය කොට එක් වපසරියක නුඹව හිර කරනවාට වඩා මේ නිර්ණාමිකත්වය සුන්දර යැයි හඟිමි. ඉතින්, මේ ගෙවී යන්නේ, එතරම් හිස්තැන් ඇති ප්‍රේමණීය කාර්තුවකි. නමුත්, මේ සියලු‍ හිස්තැන් නුඹ වන අතර, පරිපූර්ණ සියලු‍ තැන් ද නුඹ ම වේ. ඉතින් සියල්ලම නුඹම වේ.

සැබෑවට ම, බැඳීමකට නමක් අවැසිම නැත. හිස්බව තුළ ද ඇතැම් විට ඇත්තේ, බැඳීම් ය. බොහෝ දෙනා භෞතිකත්වය තුළ බැඳෙන විට ඉතින් මට නොහැකි ද නුඹ නිසාවෙන් උත්පාදනය වූ මේ හිස්බව තුළ බැඳීමට. බැඳීම් එසේ විය නොහැකි ද? ඒවා නාමකරණය කොට ලේබල් ගසා සන්තානයෙහි වෙන් කොට තබා ගැනීම අවශ්‍ය ද? එසේ නැත යැයි අදහමි. නාමිකත්වය තුළ සීමා කරනවාට වඩා නිර්ණාමිකත්වය තුළ අසීමාන්තිකව සැරිසැරීම ආස්වාදජනක ය. එම අසීමාන්තිකය තුළින් ඇතැම් විට නාමකරණයක් ජනිත විය හැකි අතර, එය ඇරැඹුමේ දී ම සීමා කොට තබන නාමකරණය වඩා හාත්පසින්ම වෙනස් විය හැක.

ඇතැම් විට, ආත්මීය නිහැඬියාවන් ඇති වන්නේ මේ නිර්ණාමිකත්වයේ අසීමාන්තික ආස්වාදය තුළිනි. ඉතින් එබැවින්, අප්‍රකාශිතබව තුළ ඇතැම් විටක, ප්‍රකාශ කිරීමට වඩා ප්‍රබල ආත්මීයගත සංවේදනාවන් විය හැකි ය. ප්‍රකාශනය වැදගත් වනුයේ, භෞතිකත්වය තුළ වැළඳ ගත් බැඳීමකට ය. ආත්මීයව වැළඳ ගත් බැඳීමකට ප්‍රකාශනය වැදගත් නොවේ. ප්‍රකාශනය තුළ ඇති සංවේදනාවන්ට වඩා අප්‍රකාශිතබව තුළ ඇති සංවේදනාවන් අතිශය ගැඹුරු විය හැකි ය. මේ ලියැවිල්ල ද එසේ ම ය. මෙහි මා ලියා තැබූ දේට වඩා මෙහි මා නොලියා තබන දේ අතිශය ගැඹුරු ය. ඉතින්, අප්‍රකාශිත තැන් හිස් ම නැත. ප්‍රකාශිත සියලු‍ තැන් පරිපූර්ණ ද නැත. ප්‍රකාශිත තැනකට වඩා අප්‍රකාශිත තැනක බොහෝ ගැඹුරු සංවේදනාවන් තිබිය හැකි ය. ඉතින් නිහඬබව ඇති වන්නේ ප්‍රකාශ කිරීමට කිසිවක් නැති තැනක ම නොවේ. ප්‍රකාශ කිරීමට බොහෝ දේ ඇති තන්හි ද නිහැඬියාවන් ඇත.

ඉතින් මෙසේ නිගමනය කරමි. ඇතැම් හිස්තැන් තුළ පරිපූර්ණ තැන් නැත්තේ ද නැත. ඇතැම් භෞතිකව ලිහිල් බැඳීම් තුළ අදිසි ආත්මීයගත වැළඳ ගැනීම් නැත්තේ ද නැත. ඇතැම් සියුම් නිහැඬියාවන් තුළ, වඩාත් උස් ප්‍රකාශන නැත්තේ ද නැත.

අවසානයෙහි මෙසේ ලියා තැබිය යුතු ම ය. මේ සියල්ල මට කියා දුන්නේ නුඹ ය. නමුත්, නුඹ ගැන මෙහි කිසිත් ලියා තැබිය නොහැකි ය. ඉතින් එබැවින්, නුඹ සන්තානයෙහි ගැඹුරු හිස්බවක සඟවා, සියල්ල ලියා තබමි. නුඹ ගැන කිසිත් නොලියා ලියමි.

අනුත්තරා කොඩිකාර

Leave A Reply

Your email address will not be published.

one × five =