විස්ස හදපු කෙනා…

උදේම ගමේ ලොකු කලබලයක්.. පොලිසියත් ඇවිල්ලා. හිච්චි කොලුවත් ගියා ඒ පැත්තට.

“මුදලාලි මාමේ.. මොකද මේ කලබලේ?”

“විස්ස හදපු එකා හොයනවා … ”

“ඒ මොකෝ?”

“ඒ මොකෝ කියන්නේ.. මේකා ඔක්කොම රට පටළවල නේ”

“ඔව් .. මටත් ඕක ඇහුණා…. තාත්තා කියනවා…”

හිච්චි කොලුවටත් හිතුණා මේක ගැන හොයන්න. හිච්චි කොලුවා ඉතින් කවදත් කැමතියි නේ රහස් පරීක්ෂක වැඩවලට. හොඳට හිතලා ගියා අධිකරණ ඇමති මුණ ගැහෙන්න. මොකද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දෙයක් අධිකරණ ඇමති දැන ගන්න එපැයි.

“හස්තිරාජ ඇමතිතුමා, කවුද විස්ස හැදුවේ?”

“මම නම් දන්නේ නෑ.. මට ආවෙ තැපෑලෙන්…”

හුටා.. එහෙනම් කවුද මේක තැපැල් කරන්න ඇත්තේ…. ම්ම්ම්… හිච්චි කොලුවා හොඳට හිතුවා.. ගියා මල් කැකුළේ සභාපතිතුමා මුණ ගැහෙන්න.

“ඒ… ක.. ක.. ක… …… තනි කෙනෙක් කරපූ පූ පූ… වැඩක් නෙමේ.. ඒ.. ක… ක… ක… සාමූහික ප්‍රයත්නයක්….. ”

“එතකොට ඔබතුමාත් සම්බන්ධ ද?”

“නෑ මම හිටියේ නෑ…”

“එතකොට කවුද හිටියේ ඔය සමූහයේ..”

“දන්නෙ නෑ..”

හිච්චි කොලුවා ඊළඟ හෝඩුවාව හොයා ගන්න සෑහෙන කල්පනා කළා… යන්න ඕන ද්විත්ව පුරවැසිභාවය ගැන ප්‍රශ්නයක් තියෙන කෙනෙක් මුණගැහෙන්න.. අනිවාර්යයෙන් සම්බන්ධයක් ඇති.

“අනේ.. නෑ… හහ්.. හහ්… හහ්… මට පාර්ලිමේන්තු එන්න ඕන නෑ.. ඉතින් මම මොකටද ඕක හදන්නේ..”
හිච්චි කොලුවා හවස් වෙනකම් හෝඩුවාවල් හොය හොය වටේ ගියා. තේරුමක් නෑ.. හොයා ගන්න බැරි වුණා මේ 20 හදපු කෙනා. අවසන් නිගමනය විදියට හිච්චි කොලුවට හිතුණේ මේකට පිටසක්වල බලපෑමක් හරි භූත බලපෑමක් හරි ඇති කියලා.

“මුදලාලි මාමේ.. මමත් මුළු දවසම මහන්සි වුණා .. හොයා ගන්න බැරි වුණා නේ..”

“මොකක්ද?”

“20 හදපු කෙනා..”

“මොන 20 ද?”

“ඇයි උදේ පොලිසිය එහෙම ඇවිල්ලා ගම පීරලා හෙව්වෙ?”

“මොන 20 ක් ද? උදේ හෙව්වේ, අර කමතේ වී බිස්ස හදපු එකා… ඒකා සල්ලි අරගෙන ඔක්කොම අනලා මාරු වෙලා… දැන් හෙට උත්සවේට කොහෙන්ද බිස්සක්… ඌව අල්ලගෙන දුන්න උදේ… ඇට්ටි හැලෙන්න…”

“ආ….. බිස්ස………….. යන්නම්..”

වස ලැජ්ජාව. හිච්චි කොලුවා හෙමීට මාරු වුණා..

Leave A Reply

Your email address will not be published.

twelve + fifteen =