රැම්සා තෙත් බිම විනාශය – ඇමති සොහොයුරා අත්අඩංගුවට

ආනවිලුන්දාව “රැම්සා තෙත් බිමට“ අයත් ප්‍රදේශයක් අනවසරයෙන් සහ අනීතික ලෙස එළිකර ඉස්සන් වගාවට සුදානම් කළ බවට සැකපිට අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කර සිටි, ආරච්චිකට්ටටුව ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති ජගත් සමන්ත අද අත්අඩංගුවට ගෙන තිබේ. මේ අතර ඔහු සැප්තැම්බර් 24 වන දින තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

ජගත් සමන්ත යනු ග්‍රාමීය හා ප්‍රාදේශීය පානීය ජල සම්පාදන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත ගේ සොහොයුරා වන අතර අත්අඩංගුවට ගැනීම සඳහා ඊයේ (21) පොලීසිය විසින් අධිකරණයෙන් වරෙන්තුවක් ලබා ගෙන තිබුණි.

මේ පිළිබඳව සොයාබැලීම සඳහා වනජීවි සහ වන සංරක්ෂණ අමාතයාංශයේ ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුවක් පත්කිරීමට විෂය බාර අමාත්‍ය සී බී රත්නායක විසින් පත්කරණු ලැබූ අතර .එම කමිටුවේ වාර්තාව සැප්තැම්බර් 8 වන දින විෂයභාර අමාත්‍යවරයා වෙත බාර දී තිබුණි.

ආනවිලුන්දාව අභය භූමියේ කොටසක් ඩෝසර් කර විනාශ කිරීම සම්බන්ධ සැකකරුවකු වන හිටපු ප්‍රාදේශීය සභා සභාපතිවරයා අත් අඩංගුවට ගැනීමට අදාළව තම පාර්ශ්වයෙන් උපරිම සහයෝගය ලබාදී ඇතත් ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව ඔහුව අත් අඩංගුවට නොගෙන මඟහරිමින් සිටින බවට මධ්‍යම පරිසර අධිකාරිය පසුගිය දා චෝදනා කළේය.

කෙසේ නමුත් රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත දිගින් දිගටම පවසා තිබුනේ මෙය මා විසින් හෝ මගේ කෙනෙකු කළ දෙයක් නොවන බවයි. රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මෙසේ පවසා තිබිණි , “ජනාධිපතිවරයා මට කථා කරලා කිව්වා. සමාජ ජාලවල යන ආනවිලුන්දාවේ පළහිලවට ඔයාගේ තියෙන සම්බන්ධය මොකක්ද? කියලා. මම ජනාධිපතිවරයාට දුන් උත්තර මගේ කිසි සම්බන්ධයක් නැහැ. මගේ වචනෙකින් හරි සම්බන්ධ නම් දඬුවමට සූදානම්. මෙය මා විසින් හෝ මගේ කෙනෙකු කළ දෙයක් නොවෙයි. හැබැයි මගේ ගම්වැසියෙක් කරපු දෙයක්. මේ සිදුවෙලා තියෙන කාරනය සම්බන්ධයෙන් මම ස්ථානීය පරීක්ෂාවක් කරලා මගේ ඇස් දෙකෙන් ම මම දැක්කා. මෙහි කිසිදු පරිසර හානියක්වෙලා නැහැ,” යනුවෙන් රාජ්‍ය අමාත්‍ය වරයා පවසා තිබිණි.

Leave A Reply

Your email address will not be published.

four + twenty =