පාර්ලිමේන්තු කාරක සභාව මාධ්‍යට විවෘත කිරීමෙන් ජාතික ආරක්ෂාවට ප්‍රශ්නයක් නෑ

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා පත් කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව මාධ්‍යට විවෘත කිරීම නිසා ජාතික ආරක්ෂාවට අගතියක් සිදුවූ බවට කෙරෙන චෝදනා ප්‍රතික්ෂේප කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය ජයම්පති වික්‍රමරත්න පවසයි.

“මේ කටයුතු සඳහා අපි නිර්ණායකයක් හැටියට ගත්තේ තොරතුරු දැනගැනීමේ පනත. පනතේ පස්වන වගන්තියේ තියෙනවා තොරතුරු හෙළිදරව් වීම රාජ්‍ය ආරක්ෂාවට හෝ එහි භෞමික අඛණ්ඩතාවයට හෝ ජාතික ආරක්ෂාවට බරපතළ ලෙස අගතිදායක වන අවස්ථාවක තොරතුරු නොදී ඉන්න පුළුවන් කියලා. අපි ඒක නිර්ණායකයක් වශයෙන් සඳහන් කරලා, ප්‍රායෝගික වශයෙන් ඊටත් වඩා ඉහළ මට්ටමක් හදාගත්තා.

පසුගිය බ්‍රහස්පතින්දා සාක්ෂි දුන්නේ ජාතික ආරක්ෂාව පිළිබඳව හොඳට දන්න පළපුරුදු සාක්ෂිකරුවන් දෙදෙනෙක්. ඔවුන්ටත් අපි බොහොම පැහැදිලිව කියා සිටියා ජාතික ආරක්ෂාවට අගතියක් වනවායැයි හිතෙනවා නම් යම් දෙයක්, ඒක ප්‍රකාශ කරන්න එපා. අපිට කියන්න, එතකොට අපිට පුළුවන් මාධ්‍ය නොමැතිව එය වාර්තාවට යවන්න කියලා. ඒ අනුව ඉතාමත්ම වගකීමකින් තමයි අපි කටයුතු කෙරුවේ. ජාතික ආරක්ෂාවට අගතියක් වන පරිදි කටයුතු කෙරුවාය කියන එක සම්පූර්ණ බොරුවක්. අසත්‍යයක්.

එකම එක ප්‍රශ්නයක්වත් එකම එක උත්තරයක්වත් ඒවගේ අගතිදායක වන මට්ටමකට කිට්ටුවෙන්වත් ගියේ නෑ” යනුවෙන් ඔහු සඳහන් කළේය.

ඔහු මේ බව පැවසූයේ ඊයේ (31) අරලියගහ මන්දිරයේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

Leave A Reply

Your email address will not be published.

18 + one =