ප්‍රේමලාල්ටයි – කුට්ටුමනීටයි නීති දෙකක් !

ප්‍රේමලාල් ජයසේකර තීන්දුව
රත්නපුර මහාධිකරණ විනිසුරු රොහාන් ජයසූරිය විසින් ප්‍රේමලාල් ජයසේකර නොහොත් චොකා මල්ලි ඇතුළු තිදෙනකුට මරණ දඬුවම පනවමින් ප්‍රකාශ කර තිබුණේ, මෙම තිදෙනාට විරුද්ධව එල්ල වූ මිනීමැරීමේ චෝදනාව ඇතුළු අනෙකුත් චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු වන බව ය. මේ අනුව සබරගමුව පළාත් සභාවේ හිටපු මන්ත්‍රී නිලන්ත ජයකොඩි, කහවත්ත ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති වජිර දර්ශ ද සිල්වා යන අයට ද මරණ දඬුවම නියම කෙරිණි.
අභියාචනාධිකරණ තීන්දුව
අදාළ මරණ දඬුවමට එරෙහිව ප්‍රේමලාල් ජයසේකර අභියාචනාධිකරණය හමුවේ පෙත්සමක් ඉදිරිපත් කර ඇති නිසාත්, එය විභාග කරන්නට අභියාචනාධිකරණය තීන්දු කර ඇති නිසාත් අභියාචකයකු ලෙස ප්‍රේමලාල් ජයසේකරට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස දිවුරුම් දීමේ අවස්ථාව හිමි බව තීන්දු කෙරිණි. අභියාචකයකුට නිර්දෝෂීභාවයේ පූර්ණ නිගමනයට හිමිකම් ඇති බව අධිකරණයේ මතය විය.
කථානායක මතය
අධිකරණය මඟින් තීන්දුවක් ලබා දී ඇති නිසා තමන්ට ප්‍රේමලාල් ජයසේකර මන්ත්‍රීවරයකු ලෙස දිවුරුම් දීම පිළිබඳ කාරණයේ දී කිසිවක් කළ නොහැකි බව කථානායක මහින්ද යාපා අබේවර්ධන පාර්ලිමේන්තුවේ දී පැවසී ය.


ප්‍රේමලාල්ට – කුට්ටුමනීට නීති දෙකක්
මරණ දඬුවම නියම වී සිටින ප්‍රේමලාල් ජයසේකරට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස දිවුරුම් දීමට අවසර ලැබුණ ද, 1982දී එවකට දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ විසින් පාර්ලිමේන්තුවට නම් කරන ලද සෙල්වරාජා යෝගචන්ද්‍රන් නොහොත් කුට්ටුමනීට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස දිවුරුම් දීමට එවකට කථානායක බාකීර් මාකර් ඉඩ දුන්නේ නැත.
කුට්ටුමනීට මෙසේ දිවුරුම් දීමට අවස්ථාව නොලැබීම සම්බන්ධයෙන් 1982 – 83 වසරවල දී අන්තර්ජාතික වශයෙන් පවා මාධ්‍ය වාර්තා පළ වී තිබිණි. මේ පරිවර්තනය කර ඇත්තේ එවැනි වාර්තා කිහිපයකි.
කුට්ටුමනී පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයට !
(ටැමිල් ටයිම්ස්, ලන්ඩන්, නොවැම්බර් 1982)
පාර්ලිමේන්තු මන්ත්‍රී ටී. තිරුනාවුකරසු මහතාගේ වියෝවෙන් පසු වඞ්ඩුකෝඞ්ඩායි ඡන්ද කොට්ඨාසයේ ඇති වූ පුරප්පාඩුවට දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ විසින් සෙල්වරාජා යෝගචන්ද්‍රන් (කුට්ටුමනී) පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස නම් කරනු ලැබ තිබේ. මීට පෙර එම පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස කුට්ටුමනී නම් කිරීම සඳහා එල්ල වූ පීඩනයට දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ සාර්ථකව මුහුණ දුන්නේ ය.
කුට්ටුමනී සහ ජෙගන්ට නියම වූ මරණ දඬුවම සම්බන්ධයෙන් මේ වන විට අභියාචනයක් විභාගවෙමින් පවතී. කුට්ටුමනී පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස නම් කිරීමට හේතු පැහැදිලි කරමින් නිකුත් කළ නිවේදනයක එම පක්ෂය මෙසේ ප්‍රකාශ කර ඇත.
(1) මෙම තීරණය වරින්වර පොලිසියේ සහ හමුදා නිලධාරීන් සහ එම ආයතන හරහා විශේෂයෙන් රටේ ද්‍රවිඩ තරුණයන් මත සිදු කරන රාජ්‍ය ත්‍රස්තවාදයට එරෙහි සංකේත විරෝධයකි.
(2) එම තීරණය ජූරි සභාව මඟින් නඩු විභාග කිරීම ප්‍රතික්ෂේප කරන විධිවිධාන, විවිධ වධහිංසා ක්‍රියා සිදු කිරීම මඟින් විත්තිකරුවන්ගෙන් පොලිසිය ලබා ගත් පාපොච්චාරණ පිළිගැනීම, පිළිගත් නීතියේ සියලු‍ මූලධර්ම නොසලකා හැරීම ඇතුළු අසාමාන්‍ය ක්‍රියාපටිපාටියක් සහිත ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතට එරෙහි දෙමළ එක්සත් විමුක්ති පෙරමුණේ විරෝධතාවේ සංකේතයකි.
(3) එය කුට්ටුමනී සහ ජෙගන්ට මරණ දඬුවම නියම කිරීමට එරෙහි විරෝධයකි.
(4) පනාගොඩ, එලිෆන්ට් පාස් සහ ගුරුනගර්හි හමුදා කඳවුරුවල දී දෙමළ තරුණයන්ට කුරිරු හා අමානුෂික ලෙස සැලකීම හා වධහිංසා පැමිණවීමට එරෙහි විරෝධයකි.
(5) දේශපාලනික වශයෙන් නැඹුරු දෙමළ තරුණයන් ත්‍රස්තවාදීන් ලෙස විදහා දැක්වීම සහ ඔවුන්ට එරෙහිව මර්දනකාරී පියවර ක්‍රියාත්මක කිරීම මෙම ගැටලුවට විසඳුමක් නොවන බව රජයට පැහැදිලි කිරීම සඳහා.

කුට්ටුමනී මන්ත්‍රීවරයකු නොවේ: ශ්‍රී ලංකාවේ කථානායක නියම කරයි
(ටැමිල් ටයිම්ස්, ලන්ඩන්, 1982 දෙසැම්බර්)
මිනීමැරුමක් සහ මංකොල්ලකෑමක් සම්බන්ධයෙන් වරදකරු කර මරණ දඬුවම ලබා දීමට එරෙහිව ඉදිරිපත් කර ඇති අභියාචනයක තීන්දුව බලාපොරොත්තුවෙන් සිටින යෝගචන්ද්‍රන් නොහොත් කුට්ටුමනීට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස දිවුරුම්දිය නොහැකි බව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කථානායක බාකීර් මාකර් මහතා තීන්දු කර තිබේ.
කුට්ටුමනී දිවුරුම් දෙනතුරු මන්ත්‍රීවරයකු ලෙස පිළිගැනීමට ලක් නොවන බව කතානායකවරයා විසින් රාජ්‍ය ඇමැති ආනන්ද තිස්ස ද අල්විස් මහතාට දන්වා සිටියේ ය. කුට්ටුමනී දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ (ඔඹඛත්‍) විසින් හිස් වූ සිය මන්ත්‍රී ධුරයට නම් කරන ලදී.

(දඬුවම් නියම වූ සෙල්වරාජා යෝගචන්ද්‍රන් හෙවත් කුට්ටිමනී (මැද), ජෙගන් (වමේ) හා ඥාණවේලු (දකුණේ) – 1982 අගෝස්තු )
කුට්ටුමනීගේ මරණ දඬුවම ජීවිතයට මාරුවෙයි
(ටැමිල් ටයිම්ස්, ලන්ඩන්, පෙබරවාරි 1983)
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ වරදකරුවීමෙන් පසු මරණ දඬුවම නියමව සිටින සෙල්වරාජා යෝගචන්ද්‍රන් නොහොත් කුට්ටුමනීගේ දඬුවම පෙබරවාරි 4 වැනිදා ජනාධිපති ජයවර්ධන විසින් ප්‍රකාශයට පත් කරන ලද පොදු සමාව යටතේ ජීවිතාන්තය දක්වා සිරදඬුවමක් ලෙස වෙනස් වී තිබේ. මෙසේ වරදකරුවන් වූ සිරකරුවන් 62 දෙනාටම මෙම පොදු සමාවෙන් දඬුවම් වෙනස් වනු ඇත.

කුට්ටුමනී ඉල්ලා අස් වෙයි
(ටැමිල් ටයිම්ස්, ලන්ඩන්, පෙබරවාරි 1983)
වඞ්ඩුකෝඞ්ඩායි ආසනයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ටී. තිරුනාවුකරසු මහතාගේ මරණයෙන් පසු එම ආසනයට දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ විසින් නම් කරනු ලැබූ සෙල්වරාජා යෝගචන්ද්‍රන් (කුට්ටුමනී) මහතා එම මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස් වී ඇත.
යෝගචන්ද්‍රන් මහතා මෙම මන්ත්‍රී අසුනට නම් කරන ලද්දේත්, ඔහුගේ පත්වීම ගැසට් කරන ලද්දේත් ඔහු මරණ දඬුවමට නියමව සිටිය දී ය. එම නිසා ඔහුට මන්ත්‍රී ධුරයේ දිවුරුම් දීමට හෝ පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට අවසර හිමි නොවීය.
නීතියේ සමානත්මතාව
නීතියේ සමානාත්මතාව, පාර්ලිමේන්තුවේ බලය සහ කථානායකගේ කොන්ද, ආණ්ඩුවේ විශ්වාසය වැනි කරුණු පිළිබඳ තීරණය ගැනීම ඔබට භාර ය. 1982 වසරේ දී මෙවැනි උදාහරණයක් ලංකාවෙන් හමු වන බව අපි අනාගතය සඳහා සටහන් කර තබන්නෙමු !
-ශාලික විමලසේන

Leave A Reply

Your email address will not be published.

four × 2 =