සම්පත් බැංකුව කින්දගල්ලට ජීවය ගෙනෙයි

රටටම බත සපයපු ඌව වෙල්ලස්සේ, බිබිල, කොකුන්නෑව කියන ගමේ ගොවි ජනතාවට මුහුණ දෙන්න වෙලා තිබුණ ලොකුම ප්‍රශ්නය තමයි, ගොවිතැනට ඕනෑ කරන වතුර ටික හරි වෙලාවට, හරි විදියට නොලැබුණ එක. ඒකට හේතුව වුණේ එතෙක් කාලයක් ගොවිතැනට දියවර සපයා ගත්තු කින්දගල්ල වැව කිසිම සරණක් නැතිව දිනෙන් දින අභාවයට ගිය එක. කින්දගල්ල වැව තමන්ගේ ඇස් ඉදිරිපිට දවසින් දවස අභාවයට යද්දී කොකුන්නෑව ගමේ ජනතාවට සිද්ධ වුණේ කන්න දෙකක් කරපු වී ගොවිතැන එක කන්නයක් විතරක් කරලා ජීවත් වෙන්න. කොකුන්නෑව ගොවි ජනතාව පුළුවන් හැම තැනට ම තමන්ගේ දුක කිව්වා.

හැම වෙලාවක ම ලංකාවේ මිනිස්සුන්ට ශක්තියක් වුණු, ලංකාවේ මිනිස්සුන්ට නැඟිටින්න අත දුන්නු සම්පත් බැංකුව මේ ගොවි ජනතාවගේ හඬට ඇහුම්කන් දුන්නෙ වගකිව යුතු බැංකුවක් විදිහට වැව හදන වැඬේ තමන්ගේ වගකීමක් විදියට ගනිමිනුයි. සම්පත් බැංකුවේ නිලධාරීන් කොකුන්නෑව ගමට ගියා. ගොවි ජනතාව එක්ක කතාබහ කළා. ගොවි ජනතාවගේ ප්‍රශ්නවලට ඇහුම්කන් දුන්නා. අවසානයේ දී අභාවයට ගිය කොකුන්නෑව, කින්දගල්ල වැව ප්‍රතිසංස්කරණය කිරීමේ වගකීම ඔවුන් භාර ගත්තා.

සම්පත් බැංකුව 2001 අවුරුද්දේ පටන් මේ ආකාරයෙන් අභාවයට ගිය වැව් රැසක් ප්‍රතිසංස්කරණය කරන්න දායක වුණා. ඒ සම්පත් බැංකුවේ ‘වැවට ජීවයක්’ කියන සමාජ සත්කාරක වැඩසටහන මුල්කරගෙනයි. කින්දගල්ල වැව ඒ වැඩසටහන යටතේ ප්‍රතිසංස්කරණය වන 8 වැනි වැව විදියට හඳුන්වන්න පුළුවන්. මීට කලින් ලුණුගම්වෙහෙර, උඩමත්තල වැව (2001), තණමල්විල, ඉලුක්පැලැස්ස වැව (2002), හම්බන්තොට, කොන්කැටිආර වැව (2002), පඬුවස්නුවර, දෙමටව වැව (2014), නොච්චියාගම, හල්මිල්ලකුලම වැව (2017), කහටගස්දිගිලිය, අඹගහවැව (2018) වගේම දිවුලන්කඩවල, ධාන්‍යාව වැව (2018) ප්‍රතිසංස්කරණයට සම්පත් බැංකුව කටයුතු කළා.

අගෝස්තු මාසේ සම්පත් බැංකුව මොනරාගල දිස්ත්‍රික්කයේ රාජ්‍ය ආයතන කිහිපයක් එක්ක එකතු වෙලා කොකුන්නෑව, කින්දගල්ල වැව හදන වැඬේ ආරම්භ කළා. එදා දවස කොකුන්නෑව ගමේ දුවා දරුවන්ට විතරක් නෙවෙයි වැඩිහිටි ගොවි ජනතාවටත් සතුට උතුරන දවසක් බවට පත් වුණා. ඒ සතුට ඔවුන්ගේ කතාබහේ විතරක් නෙවෙයි මුහුණුවලත් හොඳට ඇඳිලා තිබුණා. ඒ සතුට එක්ක කොකුන්නෑව ගම්වැසියො කැවුම්, කොකිස්, කිරිබත් අරන් වැව් තාවුල්ලට ආවේ තමන්ගෙ ජීවිතවලට අලුත් අවුරුද්දක් උදා වුණ බව සිතමිනුයි.

කින්දගල්ල වැව ප්‍රතිසංස්කරණ කටයුත්ත ගැන සම්පත් බැංකුවේ සමූහ මානව සම්පත් නිලධාරී තුසිත නාකන්දල මහතා අදහස් පළ කරමින් ප්‍රකාශ කර සිටියේ “මෙරට කෘෂිකර්මාන්තයේ උන්නතිය සඳහා අවශ්‍ය වාරි සංස්කෘතිය ආරක්ෂා කර ගනිමින්, ගොවි ජනතාවගේ ජීවන තත්ත්වයන් නඟාසිටුවීම වෙනුවෙන් ආරම්භ කළ ‘වැවට ජීවයක්’ සමාජ සත්කාරක වැඩසටහනෙහි 8වන අදියර ලෙස කින්දගල්ල වැව තෝරා ගැනීමට ලැබීම පිළිබඳ ඉතාමත් සතුටුයි. ‘වැවට ජීවයක්’ වැඩසටහන යටතේ වැව ප්‍රතිසංස්කරණය කිරීමට අමතරව ඉන් පෝෂණය වන ගොවි ජනතාවගේ අභිවෘද්ධිය වෙනුවෙන් විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට අපි පියවර ගෙන තිබෙනවා. එය ඔවුන්ගේ පමණක් නොව දූ දරුවන්ගේ අනාගත දියුණුව උදෙසා යහපත් ආකාරයෙන් යොදා ගනු ඇතැයි අපි අපේක්ෂා කරනවා” යනුවෙනි.

ගොවිතැන සරු වෙන්න නම් වතුර තියෙන්න ඕනේ. වතුර තියෙන්න නම් වැවක් තියෙන්න ඕනේ. එදා රජවරු දහස් ගණන් වැව් හැදුවේ ඒකයි. ඒ වැව්වලින් අද අස්වද්දන කුඹුරු යායවල් මුළු රටටම බත සපයන බව රහසක් නෙවෙයි. කින්දගල්ල වැවත් හෙට දවසේ ආයෙත් අපේ රටට බත සපයන්න දායක වෙයි. කොකුන්නෑව ගොවි ජනතාව සම්පත් බැංකුවට හදවතින්ම ස්තුතිවන්ත වුණේ ඒ නිසයි● 

පුෂ්ප එපිටකඩුව

Leave A Reply

Your email address will not be published.

20 − 13 =