දින 161කට පසු රම්සි රාසික්ට ඇප !

ෆේස්බුක් සටහනක් හේතුවෙන් අයි.සී.සී.පී.ආර්. පනත යටතේ අත්අඩංගුවට ගනු ලැබූ කටුගස්තොට ප්‍රදේශයේ විශ්‍රාමලත් රජයේ නිලධාරියකු සහ සමාජ මාධ්‍ය විචාරකයකු වන රම්සි රසීක් මාස පහකට පසු ඇප මත මුදාහැරීම⁣ට කොළඹ මහාධිකරණය පසුගිය 17දා නියෝග කළේ ය.
ඔහු අත්අඩංගුවට ගනු ලැබූයේ, ඉකුත් අප්‍රේල් 09 වැනිදා වන අතර, දින 161ක් අත්අඩංගුවේ පසු විය. අප්‍රේල් 02 වැනිදා පළ කළ මෙම ෆේස්බුක් සටහන මෙන් ම ඊට පෙර ඔහු පළ කළ ෆේස්බුක් සටහන් ඔහුගේ අත්අඩංගුවට ගැනීමට හේතු විය.
අපේ‍්‍රල් 3 වැනිදා තවත් ෆේස්බුක් සටහනක් මඟින් රම්සි කියා සිටියේ, අදාළ සටහන දැමීමෙන් පසුව තමාට දේශීය අන්තවාදීන්ගෙන් සහ විදේශයන්හි වෙසෙන ජනතාවගෙන් මරණ තර්ජන එල්ල වී ඇති බවයි.මෙයින් පසු රම්සි 2020 අප්‍රේල් 9 වැනිදා පොලිසියට පැමිණිල්ලක් ගොනු කළේ ය.
නමුත් එදින ම පොලිසිය අයි.සී.සී.පී.ආර්. පනතේ 3 (1) වගන්තිය, දණ්ඩ නීති සංග්‍රහයේ 120 වැනි වගන්තිය සහ පරිගණක අපරාධ පනතේ 6 වැනි වගන්තිය යටතේ රම්සි අත්අඩංගුවට ගනු ලැබූ අතර, රාසීක්ගේ නඩු විභාගය කිහිප වතාවක් කල් දැමිණි.
රම්සි රාසීක් දිගින්දිගට ම ඉස්ලාම් අන්තවාදයට එරෙහිව හඬ නැඟූ අයකු බව ජනාධිපති නීතිඥ එම්. ඒ. සුමන්තිරන් මහතා ඉකුත් අප්‍රේල් 30 වැනිදා කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ දී ප්‍රකාශ ක⁣ළේ ය. එදින නඩුව කැඳවූ අවස්ථාවේ රහස් පොලිසිය වෙනුවෙන් පෙනී සිටි උප පොලිස් පරීක්ෂක තුසිත කුමාර මහතා ප්‍රකාශ කළේ, ඕනෑ ම ත්‍රස්තවාදී කණ්ඩායමක් මුලින් ම මානසිකත්වය වෙනස් කිරීමට කටයුතු කරන බවයි. රම්සි රාසීක් ද ඇතැම් වචන භාවිත කරමින්, ජාතීන් අතර අසමඟියක් ඇති වන ආකාරයෙන් සියලු‍ දෙනාට ම පෙනෙන ආකාරයට ‘පබ්ලික්’ පෝස්ටුවක් පළ කර ඇතැයි ඔහු කීවේ ය. මීට පෙර 2019 දෙසැම්බර් 20, 2019 දෙසැම්බර් 28 සහ 2019 අප්‍රේල් 10 යන දිනවල දී ද මොහු ඒ ආකාරයේ පෝස්ටු පළ කර ඇතැයි කී රහස් පොලිසිය ඊට වැටී ඇති කමෙන්ට් අනුව යම් මහජන කැළඹීමක් සිදු වී ඇති බව පෙනෙන බව ද සඳහන් කළේ ය.
ඊට පිළිතුරු දෙමින් ජනාධිපති නීතිඥ එම්. ඒ. සුමන්තිරන් මහතා ප්‍රකාශ කළේ මෙම තරුණයා ඉස්ලාම් අන්තවාදයට විරුද්ධව සහ ජාතිවාදයට විරුද්ධව දිගින්දිගටම හඬ නැඟූ තරුණයකු බවයි. ඒ බව සනාථ කිරීම සඳහා ඔහු විසින් පළ කරන ලද පෝස්ටු රැසක පිටපත් ජනාධිපති නීතිඥවරයා අධිකරණයට ඉදිරිපත් කළේ ය.
රටේ මේ වන විට මුස්ලිම් ජාතිකයන්ට එරෙහි ජාතිවාදයක් ඇති බවත්, මුස්ලිම් ජනතාව ඉලක්ක කර ගත් ප්‍රකාශ සිදු කෙරෙන බවත්, ඒ සම්බන්ධයෙන් කිසිවකු නීතිය ක්‍රියාත්මක නොකරන බවත් ජනාධිපති නීතිඥවරයා කීවේ ය.
මෙම ප්‍රශ්නගත පෝස්ටුව ජාතීන් අතර අසමඟිය ඇති කරන ආකාරයේ පෝස්ටුවක් නොවන බවත්, එම සම්පූර්ණ පෝස්ටුවෙන් මුස්ලිම් වැසියන්ගෙන් ඉල්ලා සිටින්නේ ප්‍රචණ්ඩත්වය කරා නොගොස් සිටින ලෙස බවත් කී ජනාධිපති නීතිඥ සුමන්තිරන් මහතා වචන අල්ලාගන්නේ නැතුව සම්පූර්ණ අදහස බැලිය යුතු බවත් ප්‍රකාශ කළේය.

Leave A Reply

Your email address will not be published.

seventeen − 7 =