ආණ්ඩුවට එරෙහිව උතුරේ පක්ෂ එක්වෙයි!

ආණ්ඩුවට එරෙහිව දැවැන්ත විරෝධතා ව්‍යාපාරයක් ආරම්භ කිරීමට උතුරු පළාත නියෝජනය කරන දෙමළ දේශපාලන පක්ෂ විසින් තීරණය කර තිබේ.
ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂයේ නායක මාවෙයි සේනාධිරාජාගේ ප්‍රධානත්වයෙන් පසුගිය 15 වැනිදා යාපනය, ‘තරුණ කලාකරුවන්ගේ මණ්ඩපයේ’ පැවැති සාකච්ඡාවක දී මෙම තීරණය ගෙන ඇත. උතුරේ වර්තමාන දේශපාලන වාතාවරණය සහ තිලීපන් සැමරුම සම්බන්ධයෙන් අධිකරණයෙන් ලබා දුන් වාරණ නියෝගය පිළිබඳව මෙම සාකච්ඡාවේ දී අවධානය යොමු කර තිබේ. මාවෙයි සේනාධිරාජාගේ ආරාධනයෙන් අදාළ දේශපාලන පක්ෂ නියෝජිතයන් රැසක් මෙම සාකච්ඡාවට පැමිණ ඇත.
මෙම විරෝධතාව සම්බන්ධයෙන් අවසාන තීන්දුව සහ එය සංවිධානය කරන්නේ කෙසේ ද යන්න පිළිබඳව අවසාන තීන්දුවක් ගැනීමට අද (20දා) පෙරවරු 9.00ට නැවතත් රැස්වීමට ද මෙහි දී තීරණය කර තිබේ. වර්තමාන ආණ්ඩුව බලයට පත් වූ පසුගිය නොවැම්බරයේ පැවැති ජනාධිපතිවරණයෙන් පසු උතුරේ දේශපාලන පක්ෂ නියෝජිතයන් පොදු තීරණයක් ගැනීම සඳහා රැස් වූ මුල් ම අවස්ථාව මෙය වේ.
මෙම සාකච්ඡාවට ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂයේ නායක මාවෙයි සේනාධිරාජා, ප්ලොට් පක්ෂ නායක ධර්මලිංගම් සිද්ධාර්ථන්, පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. ශ්‍රීධරන්, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පී. සරවනබවන්, උතුරු පළාත් සභාවේ හිටපු සභාපති සී. වී. කේ. සිවඥානම්, යාපනය මහ නගර සභාවේ උප සභාපති ඊසන්, උතුරු පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරුන් වන පී. කජීපන්, වී. කනගරත්නම් සහ ප්‍රජාතන්ත්‍රවාදී සටන්කාමීන්ගේ පක්ෂයේ නායක සී. වෙන්දන් ඇතුළු පිරිසක් සහභාගි වී ඇත.

Leave A Reply

Your email address will not be published.

5 × 2 =