උපාධිධාරීන්ට දෙන හමුදා පුහුණුවට විරෝධය

මෑතක දී රාජ්‍ය සේවයට බඳවා ගත් උපාධිධාරීන්ට යුද පුහුණුවක් ලබා දීම රාජ්‍ය සේවය වැරැදි සංස්කෘතියක් වෙත යොමු කිරීමක් බව වෘත්තීය සමිති රැසක් පෙන්වා දෙයි.
රජයේ මෙම ක්‍රියාකලාපය හරහා ‘සියල්ල කළ හැක්කේ හමුදාවට පමණයි’ යන සංකල්පය සමාජගත කිරීම තුළ දැනට රාජ්‍ය සේවයේ නියුතු හමුදා අංශ සාමාජිකයන් හැර සෙසු සියලු රාජ්‍ය සේවකයන් කලකිරීමට පත් විය හැකි බව එම වෘත්තීය සමිති වැඩි දුරටත් පෙන්වා දෙයි. එසේම මේ වන විටත් සිවිල් පරිපාලන කටයුතු සඳහා මෙන්ම ජනාධිපතිවරයා විසින් පසුගිය සමයේ පිහිටු වූ කාර්යසාධක බළකා සඳහා හමුදා නිලධාරීන් පත් කිරීම හරහා එවැනි තත්ත්වයක් රට තුළ නිර්මාණය වී ඇති
බවත්, රාජ්‍ය අංශයට අලුතින්  බඳවා ගත් උපාධිධාරීන් 50,000ක පිරිස එක් වීමට නියමිතව ඇත්තේ, සිවිල් රාජකාරි කටයුතු සඳහා බවත් පෙන්වා දෙන ඔවුන් තව දුරටත් අවධාරණය කරන්නේ, යුද හමුදාව විසින් රාජ්‍ය සේවකයන් පුහුණු කිරීම හරහා මෙරට සිවිල් පරිපාලන ක්ෂේත්‍රය කෙරෙහි පවතින ජනතා විශ්වාසය බිඳවැටෙන බව ය.
කෙසේ වෙතත්, ශ්‍රී ලංකා යුද හමුදාව නිකුත් කර තිබෙන මාධ්‍ය නිවේදනයක සඳහන් වන පරිදි අදියර පහක් යටතේ මාසයක කාලසීමාවක් පවත්වනු ලබන මෙම  නේවාසික වැඩසටහනේ පළමු අදියරේ දී උපාධිධාරීන් 10,000ක්  පුහුණු වැඩසටහන වෙනුවෙන් සම්බන්ධ කර ගනු ලැබේ. යුද්ධ හමුදා පුහුණු අධ්‍යක්ෂ මණ්ඩලයේ සම්බන්ධීකරණයෙන් සිදු කරනු ලබන මෙම වැඩසටහන තුළ දී පුහුණු, කාර්යක්ෂම ශ්‍රම බළකායක් ලෙස ජාතිය ගොඩනැඟීම සඳහා දායකත්වය තීව්‍ර කිරීම වෙනුවෙන් රාජ්‍ය සේවයට බඳවා ගත් උපාධිධාරීන්ගේ දැනුම, කුසලතා සහ ආකල්ප ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් මෙම වැඩසටහන ක්‍රියාත්මක කරනු ලබන බව එම නිවේදනයේ සඳහන් කර තිබිණි.
ආරක්ෂක සේනා මූලස්ථාන, රෙජිමේන්තු මධ්‍යස්ථාන සහ පුහුණු පාසල් ඇතුළු රට පුරා යුද හමුදා පුහුණු මධ්‍යස්ථාන 51ක දී මෙම පුහුණුව ලබා දෙන අතර, ජනාධිපතිගේ සෞභාග්‍යයේ දැක්ම’ මැතිවරණ ප්‍රකාශයට සමගාමීව හා ඔහුගේ උපදෙස් ප්‍රකාරව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාපති ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වාගේ උපදෙස් මත යුද්ධ හමුදාව විසින් මෙම පුහුණු වැඩසටහන ආරම්භ කරනු ලබන බව ද යුද හමුදා නිවේදනයේ වැඩි දුරටත් සඳහන්ව තිබිණි.

Leave A Reply

Your email address will not be published.

nine − 1 =