“බ්‍රයන් ලාරා යනු කලාවකි”

ඒ 1993 වසරේ ඔස්ට්‍රේලියාව සහ කොදෙව් පිල අතර ටෙස්ට් තරගයකි. කොදෙව් ලකුණු පුවරුව ලකුණු 31 ට 2 ක් ⁣ලෙස පවතිද්දී එක් හීන්දෑරි කොලු ගැටයෙක් 4 වැනි පිතිකරු ලෙස පිටියට පැමිණියා. එවකට ක්‍රිකට් ලෝකයට නුපුරුදු චරිතයක් වුනු මෙම තරැණයා ඒ වනවිට ක්‍රීඩා කර තිබුනේ ටෙස්ට් තරග 4 ක් පමනයි. එම ටෙස්ට් තරග 4 දී ලකුණු 244 ක් ලබාසිටි ඔහුගේ එවකට පිතිකරණ සාමාන්‍යය 30.50 කි.
වමතින් පන්දුවට පහරදෙන මෙම ආධුනික තරැණ පිතිකරුවාට එවකට ලොව ප්‍රබල ඔස්ට්‍රේලියානු පිලට මුහුණ දෙන්න පුළුවන් වෙයිද ???
ඔවු, අවසානයේදී ඒ 23 හැවිරිදි කොලු ගැටයා මුළු ක්‍රිකට් ලොවම ඔහු වෙත නතු කරගනිමින් සිඩ්නි පිටිය දෙවනත් කරමින් ඔස්ට්‍රේලියානු පිලට එරෙහිව දැවැන්ත ලකුණු 277 ක් රැස් කලා.
පිටිය පුරා දිගට හරහට මනස්කාන්ත පහරවල් එල්ල කරමින් සිය මංගල ටෙස්ට් ශතකය ලෙස ලකුණු 277 ක් ලබාගත් ඒ හීන්දෑරි තරැණයා අන් කවරෙක්වත් නොව ඔහු නමින් බ්‍රයන් චාල්ස් ලාරාය.
පන්දු 374 කින් සමන්විත ලාරාගේ ඉනිමට හතරේ පහරවල් 38 ක් ඇතුළත් වුනා. ලාරාගේ ඉනිමෙහි strike rate එක 74.46 ක් වැනි ඉතා ඉහල අගයක පැවතුනා. ක්‍රිකට් ලොව එතෙක් බිහිවුණු අග්‍රගණ්‍යම පිතිකරුවෙක් වුන බ්‍රයන් ලාරා ගැන මුළු ලෝකයම ප්‍රථම වරට දැනගත්තේ මෙම ඉනිමෙන්ය.
ලාරා විසින් එම ලකුණු 277 රැස්
කරගැනීමට පෙර ඔහු ලබාගෙන සිටියේ ටෙස්ට් ලකුණු 244 ක් පමනයි. අවසානයේදී ඔහු ලබාසිටි මුළු ටෙස්ට් ලකුණු ප්‍රමාණයටත් වඩා විශාල තනි ඉනිමකින් සිය මංගල ටෙස්ට් ශතකය රැස් කරගැනීමට ලාරා සමත්වුනා. අවාසනාවට එදා ලකුණු 277 ක් ලබා සිටි ලාරා දුවද්දී දැවී යාමකට ලක්වෙනවා. එය එසේ නොවුනා නම් එදා ඔහු ත්‍රිත්ව ශතකයක්ද රැස් කරන බව නිසැකයි.
බ්‍රයන් ලාරා ගේ මෙම ඉනිම පිලිබදව Shane Warne පසුකාලීනව මෙලෙස ප්‍රකාශ කලා.
” If you didn’t run him out, I think he would still be batting now. He was hitting the gaps every time.”
(” මම හිතන්නේ එදා ඔහුව Run out නොකරා නම් ඔහු තවමත් bat කරාවී. එදා ඔහු හැම අවස්ථාවකම පන්දු රකින්නන් අතරින් පහරවල් එල්ල කලා”)
ඔස්ට්‍රේලියාවෙ සිඩ්නි පිටියේදී ලබාගත් මෙම ලකුණු 277 ලාරා හට කෙතරම් සිහිවටනයක් ද කියනවා නම් පසුකාලීනව එම ඉනිම සිහිවීම සදහා ලාරා විසින් ඔහුගේ දියණියගේ නම ‘ සිඩ්නි ‘ ලෙසින් නම් තැබුවා.
ලකුණු 277 කින් මංගල ශතකය ලබාගත් බ්‍රයන් ලාරා වසරකට පසුව එංගලන්තයට එරෙහිව ලකුණු 375 ක් රැස් කරමින් එවකට Garfield Sobers සතුව පැවති ඉහලම ටෙස්ට් ඉනිමෙ වාර්තාවත් ඔහු සතු කරගත්තා. කෙසේ නමුත් ලාරා ඔස්ට්‍රේලියාවෙදී ලබාගත් ලකුණු 277 ඔහුගේ දිවියේ සුවිශේෂී හැරවුම් ලක්ෂ්‍යය ලෙස හැදින්විය හැක. ලාරාගේ 277 ඉනිම අදටත් සැලකෙන්නේ ලොව සුපිරිතම මංගල ටෙස්ට් ශතකය ලෙසටයි.
ලාරා යනු ක්‍රිකට් ක්‍රිඩාව සිය පිත්තෙන් සිත්තම් කල කලාකරැවෙකි. ඔහුටම අනන්‍ය වූ පිතිකරණ රටාව, තාක්ෂණය, ඇස පිනවන අලංකාර පහරවල් සහ ඔහු ලබාගත් විශිෂ්ට ඉනිම් ක්‍රිකට් රසිකයාට කිසිදා අමතක නොවනු ඇත.
-ප්‍රියදර්ශන ඇම්බ්‍රෝස් (fb)

Leave A Reply

Your email address will not be published.

7 + six =