වෙළෙඳ යුද්ධයේ අලුත් කතාව – ටික් ටොක් වෙනුවට ෂෝර්ට්ස් සහ රීල්ස්

ඇමෙරිකා එක්සත් ජනපදය සහ එහි බහුජාතික සමාගම් විසින් මේ වන විට ලොව පුරා අතිශයින් ජනප්‍රිය ‘ටික් ටොක්’ කෙටි වීඩියෝ හුවමාරු ඇප්ලිකේෂණයට සිදු කරන්නට යන දේ ගැන අප මීට පෙර තොරතුරු ඔබට ඉදිරිපත් කරනු ලැබුවා. චීන ඇමෙරිකා වෙළෙඳ යුද්ධය ලෝකයට ප්‍රදර්ශනය වූ තවත් අවස්ථාවක් වූයේ ‘ටික් ටොක්’ සහ ‘වී චැට්’ ඇමෙරිකාව තුළ තහනම් කිරීමට තීරණය වීමත් සමඟයි.

මෙම ඇප්ලිකේෂණ දෙකම චීන නිෂ්පාදනයි. ඉන් අනතුරුව මයික්‍රොසොෆ්ට් සමාගම විසින් ටික් ටොක් හි ඇමෙරිකානු කොටස් මිලට ගැනීමට යෝජනාවක් ඉදිරිපත් කරනු ලැබුවා. නමුත්, අවසාන මොහොතේ දී ටික් ටොක් අයිති ‘බයිට් ඩාන්ස්’ නමැති චීන සමාගම එම යෝජනාව ප්‍රතික්ෂේප කරනු ලැබුවා. දැන් ‘ඔරකල්’ නමැති ඇමෙරිකානු දත්ත ගබඩා තාක්ෂණ පහසුකම් සහ මෘදුකාංග නිපදවන සමාගම ටික් ටොක් සමඟ එක් වීමට යෝජනාවක් ඉදිරිපත් කර තිබෙනවා. එය මේ වන විට ඇමෙරිකානු නීති බලධාරීන්ගේ අවධානයට යොමු කර ඇති බවයි වාර්තා වන්නේ.

මෙම තත්ත්වයන් තුළ අප තේරුම් ගත යුතු සත්‍යයක් තිබෙනවා. නව ලිබරල්වාදය ලෙස ඔවුන්ම හඳුන්වන වත්මන් වෙළෙඳපළ ක්‍රමය තුළ පූර්ණ තරගකාරීත්වයට සහ වෙළෙඳපළ වෙත නිදහසේ ඇතුළත්වීමට සහ පිටවීමට පවතිනවා යැයි කියන පූර්ණ නිදහස ඇත්තටම නොමැතිවීම මෙම ක්‍රියාවලියෙන් ඔප්පු වීමයි.

මේ අතර ටික් ටොක් සමාගමේ ව්‍යාප්තියට බිය වූ යූටියුබ් ආයතනය ටික් ටොක් පන්නයේම කෙටි වීඩියෝ නිපදවා පළ කළ හැකි නව විශේෂාංගයක් හඳුන්වා දීමට සුදානම් වෙනවා. ඔවුන් එය නම් කර තිබෙන්නේ යූටියුබ් ෂෝර්ට්ස් (Shorts) ලෙසයි. මෙහිදී ද සිදු වන්නේ තත්පර 15ක කෙටි වර්ටිකල් වීඩියෝ පටිගත කර සංස්කරණය කර සංගීතය සහ අනෙකුත් ග්‍රැෆික්ස් සහ වීඩියෝ ප්‍රයෝග එක් කිරීම් සිදු කර පළ කළ හැකි වීමයි. එය කිසිසේත්ම ටික් ටොක්වලින් වෙනස් වන්නේ නැහැ.

යූටියුබ් ඇප්ලිකේෂණයේම විශේෂාංගයක් ලෙස ‘Create’ නමින් මෙම නව වේදිකාව සකස් කරන බවයි වාර්තා වන්නේ. මෙහි පළමු අත්හදා බැලීම සිදු වන්නේ ඉන්දියාවේ දී. එහි ඇති විශේෂත්වය වන්නේ ටික් ටොක් තහනම් කරන ලද ඉන්දියානු වෙළෙඳපොළම මෙම අත්හදා බැලීම සඳහා යූ ටියුබ් සමාගම විසින් තෝරා ගැනීමයි. යූ ටියුබ් සතුව මේ වන විට මාසිකව බිලියන 02ක පරිශීලකයන් ප්‍රමාණයක් සිටිනවා. ඒ සියලු දෙනාටම මෙම නව විශේෂාංගය සමඟ එක් විය හැකියි.

මේ අතර ‘ඉන්ස්ටර්ග්‍රෑම්’ සමාගම ද මේ පන්නයේම විශේෂාංගයක් පසුගිය අගෝස්තු මාසයේ 05දා හඳුන්වා දුන්නා. ඒ ‘Reels’ නමින්. එය මේ වන විට ඇමෙරිකාව, ජපානය, බ්‍රිතාන්‍යය, ඕස්ට්‍රේලියාව ඇතුළු රටවල් 50කට අධික ප්‍රමාණයක ව්‍යාප්ත වෙමින් තිබෙනවා. එහි ඇත්තේ ද තත්පර 15 ක වර්ටිකල් වීඩියෝස් පටිගත කර ඒවාට පසුබිම් සංගීතය සහ විවිධ වීඩියෝ ප්‍රයෝග එක් කිරීමට හැකි වීමයි. මෙම සමාගම් දෙකම ඇමෙරිකානු සමාගම් වන අතර, ඔවුන් චීන ටික් ටොක් කොපි කිරීම මෙහි ඇති විශේෂත්වයයි.

විවෘත වෙළෙඳපළ තුළ සාමාන්‍යයෙන් මෙවැනි කොපි කිරීම් නැතිනම් සමාන ව්‍යාපාරික කටයුතු ආරම්භ කිරීම් සාමාන්‍ය තත්ත්වයක් වුවත්, මෙහි විශේෂත්වයක් තිබෙනවා. මේ සිදු වන ක්‍රියාදාමය අප මැනවින් තේරුම් ගත යුතුයි. ලෝකයට පළමුව මෙවැනි කෙටි වීඩියෝ පළ කිරීමේ හැකියාව ලබා දුන්නේ ටික් ටොක් නොවුණත්, එය ඉතා වේගයෙන් ලොව පුරා ජනප්‍රිය වුණා. ටික් ටොක් ඇප්ලිකේෂණය මේ වන විට ලොව පුරා බිලියන 1.5ක් දෙනා බාගත කර ගෙන තිබෙනවා. 2018 වසරේ සිට වසර දෙකක පමණ කෙටි කාලයක දී ටික් ටොක් ලබා ගත් මෙම වර්ධනය කැපී පෙනෙනවා. එපමණක් නොව ඉතාම වේගයෙන් එය යූ ටියුබ් වෙත වෙළෙඳපළ තර්ජනයක් බවට පත් වුණා.

ටික් ටොක් ආයතනය චීනයේ ‘Byte Dance’ නමැති සමාගමට අයිති ඇප්ලිකේෂණයක්. මේ නිසා මෙම වර්ධනය නිතැතින්ම ඇමෙරිකා සහ චීන වෙළෙඳ ගැටුමේ ම කොටසක් බවට පත් වුණා. ටික් ටොක් වේගයෙන් ලොව පුරා ජනප්‍රිය වීමත් සමඟ අහිමි වෙමින් තිබෙන්නේ යූ ටියුබ් හි වෙළෙඳපළ අවස්ථා. විශේෂයෙන් ලොව පුරා විවිධ වෙළෙඳ සමාගම් සිය වෙළෙඳ කටයුතු සහ සන්නාම ප්‍රවර්ධනය සඳහා මෙම ටික් ටොක් වීඩියෝස් වේගයෙන් යොදා ගැනීමට පටන් ගත්තා. උපායමාර්ගික ලෙස මෙම වෙළෙඳ යුද්ධයට මුහුණ දීමට අපොහොසත් වූ අදාළ ඇමෙරිකානු සමාගම් සිදු කළේ සිය රාජ්‍යය සතු බලය යොදාගෙන ටික් ටොක් වෙත පහර දීමයි. එහි පළමු ප්‍රහාරය ඉන්දියාව යොදා ගනිමින් සිදු කළා. ඒ ඉන්දියාව තුළ ටික් ටොක් තහනම් කරමින්. ඊළඟට සිදු කළේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් යැයි කියමින්, ඇමරිකාව තුළ තහනම් කිරීමට පියවර ගැනීමයි. දැන් ඊළඟට ඔවුන් සිදු කරන්නේ අදාළ ටික් ටොක් පන්නයේම සමාන නිෂ්පාදන එළිදැක්වීමයි. ටික් ටොක් තහනම් කර ඇති රටවල් මුල් කර ගෙන මෙම එළිදැක්වීම් සිදු කිරීම විශේෂත්වයක්. යූ ටියුබ්, ඉන්ස්ටර්ග්‍රෑම් මේ සිදු කරන්නේ එයයි.

මෙම තත්ත්වයන් තුළ අප තේරුම් ගත යුතු සත්‍යයක් තිබෙනවා. නව ලිබරල්වාදය ලෙස ඔවුන්ම හඳුන්වන වත්මන් වෙළෙඳපළ ක්‍රමය තුළ පූර්ණ තරගකාරීත්වයට සහ වෙළෙඳපළ වෙත නිදහසේ ඇතුළත්වීමට සහ පිටවීමට පවතිනවා යැයි කියන පූර්ණ නිදහස ඇත්තටම නොමැතිවීම මෙම ක්‍රියාවලියෙන් ඔප්පු වීමයි. ඔවුන් විසින් පෙන්වා දෙනු ලබන අදාළ නිදහස පවතින්නේ ඔවුන් විසින් අර්ථකථනය කරන සීමාව තුළ පමණයි. අවසානයේ දී වෙළෙඳ සමාගම් විසින් සිය රාජ්‍යයන් සතු බලය යොදාගෙන එය පාලනය කරනු ලබනවා. චීන – ඇමෙරිකා වෙළෙඳ යුද්ධය යනු වෙනත් ආකාරයකින් පවසන්නේ නම්, මේ දෙරටේ සමාගම් අතර වන යුද්ධයයි. කෙසේ වෙතත්, නිදහස් වෙළෙඳපළ ක්‍රමයක් පවතිනවා යැයි කියන මිථ්‍යාව මෙවැනි ක්‍රියාවලින් හෙළි වීම වැදගත් කරුණක්●

අනුහස් බණ්ඩාර

Leave A Reply

Your email address will not be published.

20 − 10 =