පාතාලය මැඬලීමේදී නොකියැවෙන කතාව

“පාතාලයෝ මට තර්ජනය කරනවා. ආරක්ෂක ලේකම්කමෙන් ගිය දවසට දරුවන්ටත්, මටත් යහතින් ඉන්න දෙන්නේ නැහැ කියලා. හැබැයි මොන තර්ජන ආවත් පාතාල මර්දන වැඩසටහන නවත්වන්නේ නැහැ.”  මේ ප්‍රකාශය කළේ ප්‍රසිද්ධ රැස්වීමක දී ය.

ඔහුගේ ප්‍රකාශය අගය කළ යුත්තකි. ඔහු එසේ ප්‍රකාශ කළත්, සැබෑ තලයේ එය ක්‍රියාත්මක වෙනවා ද කියන කාරණය ඔහුම සොයා බලන්නේ නම් අගනේ ය. පොලිසිය විසින් මාධ්‍ය සංදර්ශන දමමින් කරන්නේ සැබෑ පාතාල මර්දනයක් ද නැතිනම්, ඔවුන්ගේ තරු පටි වැඩි කර ගැනීමක් ද යන්න ආරක්ෂක ලේකම් සොයාබැලිය යුතුය.

 ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයකු පක්ෂ කාර්යාලයක් වශයෙන් භාවිත කළේ දෙමටගොඩ රුවන්ට අයත් ගොඩනැඟිල්ලක ඉහළ මහල ය. එය පිහිටා තිබුණේ, දෙමටගොඩ මංසන්ධියේ ම වීම විශේෂත්වයකි. එම අපේක්ෂකයා මේ වන විට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස පත්ව සිටින අතර, ඔහුගේ ප්‍රචාරක කටයුතු බොහොමයක් කෙරුණේ රුවන්ගේ ගෝලබාලයන් හරහා ය.

පසුගිය මහ මැතිවරණයේ දී දැඩි කතාබහකට ලක් වූ කාරණාවක් වූයේ, අපේක්ෂකයන් මැතිවරණ ප්‍රචාරක කටයුතුවලට පාතාල සාමාජිකයන්ගේ සහාය ලබාගෙන ඇති බව ය. දේශපාලන කණ්ඩායම් පාතාල සහාය ලබා ගැනීම සම්බන්ධයෙන් වාර්තාවක් ද රාජ්‍ය බුද්ධි අංශය ඉහළ නිලධාරීන්ට දුන්නේ ය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයකු පක්ෂ කාර්යාලයක් වශයෙන් භාවිත කළේ දෙමටගොඩ රුවන්ට අයත් ගොඩනැඟිල්ලක ඉහළ මහල ය. එය පිහිටා තිබුණේ, දෙමටගොඩ මංසන්ධියේ ම වීම විශේෂත්වයකි. එම අපේක්ෂකයා මේ වන විට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස පත්ව සිටින අතර, ඔහුගේ ප්‍රචාරක කටයුතු බොහොමයක් කෙරුණේ රුවන්ගේ ගෝලබාලයන් හරහා ය.

මේ අතරවාරයේ මීට සති දෙකකට පමණ ඉහත දී රුවන්ගේ පුතා තවත් සගයකු සමඟ ලියාපදිංචි නොකළ අංක තහඩුවක් සහිත හැමර් වර්ගයේ ජීප් රථයක ගමන් කළේය. ඔවුන් ගමන් ගත් හැමර් ජීප් රථය නවතා පරීක්ෂා කරන දෙමටගොඩ පොලිසියේ නිලධාරීන් මත්ද්‍රව්‍ය සමඟ දෙමටගොඩ රුවන්ගේ පුත්‍රයා සහ ගමන් සගයා අත්අඩංගුවට ගත්තෝය.

මීට වසරකට ඉහත දී ද පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් විසින් දෙමටගොඩ කළ සෝදිසියක දී හෙරොයින් සමඟ අත්අඩංගුවට පත් වන මොහු ඒ වන විට සිටියේ අධිකරණ ඇප මත ය. දෙදෙනා ම අත්අඩංගුවට ගත් බව මාධ්‍ය මඟින් ප්‍රසිද්ධ වුව ද, අවසානයේ හෙරොයින් සමඟ අධිකරණයට යන්නේ ගමන් සගයා පමණකි.

ඉහළින් ලද නියෝගයක් මත දෙමටගොඩ පොලිසිය විසින් රුවන්ගේ පුතා නිදහස් කරන ලද අතර, මත්ද්‍රව්‍ය සමඟ ගමන් සගයා අධිකරණයට ඉදිරිපත් විණි. දෙමටගොඩ රුවන් යනු දෙමටගොඩ චමින්දගේ වැඩිමහල් සොහොයුරා ය. ඝාතන නඩුවට වරදකරු වී මරණීය දණ්ඩනය නියමව සිටින තැනැත්තෙකි. රුවන්ගේ පුතා මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට පත් වූ අවස්ථාවේ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියකු දෙමටගොඩ පොලිසියට දන්වා ඇත්තේ ඉහළ දේශපාලනඥයෙකු තමන්ට දැනුම් දුන්නේ ඔහුව නිදහස් කරන ලෙස යැයි පවසා තිබේ. ඒ අනුව ඔහු නිදහස් වූයේ ය.

නමුත්, මේ සිද්ධිය පිළිබඳව විමර්ශනයක් විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් ආරම්භ කරනු ලැබ ඇති අතර එය කොතෙක් දුරට සාර්ථක වේද යන්න සැක සහිතය. පොලිසිය මාධ්‍ය සංදර්ශන දමමින් පාතාලයන්, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගනිද් දී, වත්මන් රජයට පක්ෂපාතී පාතාලයන්, මත්කුඩු ජාවාරම්කරුවන් නිදහසේ තමන්ගේ කටයුතු කරගෙන යන්නේ පොලිසියට ද කෝචොක් දමමිනි.

දෙමටගොඩ රුවන් නමැත්තා 2019 වසරේ දී අත්අඩංගුවට පත් වූ පසු ඔහු සතු දේපළ සම්බන්ධයෙන් විමර්ශනයක් කළ පොලිසිය මුදල් විශුද්ධි කරන පනත යටතේ ඔහුගේ දේපොළ රාජසන්තක කළ යුතු බවට නිර්දේශ කෙරිණි. නමුත්, මේ වන විට එම විමර්ශන ද අතරමඟ නතරව ඇති අතර, විමර්ශන ලිපිගොනුවලට ද  වූ දෙයක් නොමැත.

අංගොඩ ලොක්කා, වෙලේ සුදා, පොඩි ලැසී යන අයගේ දේපොළ මුදල් විශුද්ධි කරන පනත යටතේ රාජසන්තක කිරීමට ගන්නා උත්සාහය මොහුගේ දේපළ සම්බන්ධයෙන් නැත්තේ මන්දැයි පොලිස් නිලධාරීහු  ම විමතිය පළ කරති.

චන්දන ලසන්ත පෙරේරා නොහොත් අංගොඩ ලොක්කා ඝාතනය වූ බවට ප්‍රචාරය වූ පසු ඔහුගේ දේපළ සම්බන්ධයෙන් ද කතාබහක් ඇති වූ අතර, එහි දී පොලීසිය දුරකථන අංකයක් ලබා දුන්නේ පාතාල සාමාජිකයන් සතු වත්කම් සම්බන්ධයෙන් දන්නේ නම්, ඒ ගැන පොලිසිය දැනුම්වත් කරන ලෙස ය. පොලිසියේ ඉල්ලීම ප්‍රකාරව දෙමටගොඩ ප්‍රදේශයේ ජනතාව ඔවුන් දන්නා කරුණු කාරණා රැසක් පොලිසියට දැනුම් දුන්න ද, ඒවාට  වූ දෙයක් පෙනෙන්නට නැත.

නමුත්, පාතාලයන් හා හෙරොයින් ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගැනීම් ගැන මාධ්‍ය සංදර්ශන පැවැත්වෙන්නේ එක් ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියකුට පොලිස්පති පුටුවට යාමේ සිහිනය සැබෑ කර ගැනීමට පමණක් මිස සැබෑ පාතාල මර්දනයක් පිණිස නොවේ ය යන්න මේ කාරණා සමඟ පෙනී යන්නකි.

ලංකාවේ සිටින පාතාල සාමාජිකයන් අතුරින් වැඩිම වත්කම් ප්‍රමාණයකට හිමිකම් කියන්නේ රුවන් බව විමර්ශනවලින් හෙළිව ඇතැයි ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් කීවේ ය. නමුත්, ඔහු නිදහසේ ඉන්නේ වත්මන් රාජ්‍ය බලයේ අනුහසින් ද, නැතිනම් වෙනත් කාරණයකින් ද යන්න තවමත් පැහැදිලි නැත.

මේ අතර බූස්ස බන්ධනාගාරයේ පාතාල නායකයන් රැසක් පසුගිය කාලයේ ආහාර වර්ජනයක නිරත වූයේ, ඔවුන්ගේ ඥාතීන් පරීක්ෂා නොකරන ලෙස දන්වමිනි. කංජිපානි ඉම්රාන්, පොඩි ලැසී, කොස්ගොඩ තාරක, වෙලේ සුදා ආදි ප්‍රධාන පෙළේ රැඳවියෝ පිරිසක් මෙලෙස ආහාර වර්ජනයක නිරත වූහ. අවසානයේ කංජිපානි ඉම්රාන් පමණක් රෝහල්ගත වූ අතර, අනෙක් පිරිස ක්‍රමක්‍රමයෙන් වර්ජනයෙන් ඉවත් වූහ.

එසේම බන්ධනාගාර තුළින් ජංගම දුරකථන විශාල වශයෙන් හසුවන ආකාරයක් මාධ්‍ය මඟින් දක්නට ලැබිණි. එසේ වුව ද, පොලිස් වාර්තා සඳහන් කරන්නේ, බන්ධනාගාරය තුළ සිට තවමත් හෙරොයින් ජාවාරම ක්‍රියාත්මක වන බව ය. දුරකථන කොපමණ හසුවුණත්, චක්‍රයක් සේ හෙරොයින් ජාවාරම්, කප්පම් ගැනීම් ආදී අපරාධ බන්ධනාගාරය තුළ සිට තවමත් ක්‍රියාත්මක වේ.

මාධ්‍ය මඟින් පෙන්වන ආකාරයට මත්ද්‍රව්‍ය වැටලීම් සිදු වූවා නම්, මේ වන විට රට තුළ හෙරොයින් ආදී මත්ද්‍රව්‍යවල හිඟයක් ඇති විය යුතු ය. නමුත්, තවමත් එවැන්නක් වී නොමැති අතර, හෙරොයින් මිල  ඉහළ ගොස් නොමැති වීමෙන් ද එය පැහැදිලි වේ.

නිතීය හා සාමය පිළිබඳ රාජ්‍ය අමාත්‍ය චමල් රාජපක්ෂ පසුගිය දා පොලිස් මූලස්ථානයේ කළ සංචාරයක දී කීවේ, “ග්‍රෑම් එක දෙක අල්ලලා වැඩක් නැහැ. මහා පරිමාණ ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගන්න ඕනෑ” යනුවෙනි. මෙයින් පැහැදිලි වන්නේ මත්ද්‍රව්‍ය හා පාතාල නායකයන් ඇල්ලීම මාධ්‍ය සංදර්ශනයක් බවයි.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය හෙවත් නාකොටික් නිලධාරීන් කළ මහා පරිමාණ හෙරොයින් ජාවාරමක් සම්බන්ධයෙන් ඉකුත් දා තොරතුරු හෙළිදරවු විය. එය මාධ්‍ය අතර ද ප්‍රධාන පුවත් බවට පත් වූයේ නිතැතිනි. එම වැටලීමේ දී කණ්ඩායම් දෙකක් අත්අඩංගුවට ගත් අතර, එහි එක් කණ්ඩායමක් අත්අඩංගුවට ගත්තේ නාවික හමුදාව මඟින් මහ මුහුදේ දී අත්අඩංගුවට ගනු ලැබූ අයිස් නම් විශාලතම මත්ද්‍රව්‍ය තොගයෙන් කොටසක් උර මාරු කොට ප්‍රමිතිය වෙනස් කළේ ය යන චෝදනාවට ය. අයිස් මත්ද්‍රව්‍ය තොගයේ උර මාරු කොට කොටසක් මොවුන් රැගෙන ඉතිරියට අජිනමොටෝ වැනි රසායනික කලවම් කළේ යැයි මොවුන්ට විරුද්ධව ප්‍රකාශ කර තිබුණේ ද කලින් අත්අඩංගුවට ගත් නාකොටික් නිලධාරීන් ම ය.

ඔවුන් කියා තිබුණේ, මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ ගබඩාව ඇර නඩු භාණ්ඩ ලෙස තිබු හෙරොයින් තොග ද මොවුන් රැගෙන ඒවාට ආදේශක කලවම් කර ඇති බවය. ඒ අනුව නාකොටික් හි නඩු ගබඩාවේ තිබු සියලු මත්ද්‍රව්‍ය තොග රස පරීක්ෂක වෙත යැවූ අතර එලෙස යවා මාස දෙකක කාලයක් ගතව ඇතත්, තවමත් එහි වාර්තාව ලැබී නැත.

රටේ ආන්දෝලනාත්මක සිදුවීමක වාර්තා ප්‍රමාදය සම්බන්ධයෙන් පොලිසිය තුළම සැකසංකා මතුව තිබේ. පසුගිය දා මහ මුහුදේ ගිනිගත් නැවේ ඉන්ධන මුහුදට එකතු වී ඇත්දැයි සොයාබැලීමට රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට දුන් ජල සාම්පල පැය කිහිපයක් ඇතුළත පරීක්ෂා කර දිය හැකි නම්, මෙය මෙතරම් ප්‍රමාද වන්නේ වෙනත් හේතුවක් මත දැයි පොලිසිය ම ප්‍රශ්න කරයි. රස පරීක්ෂක වාර්තාව නිකුත් කොට එය සඟවා තිබෙනවා ද වෙනත් බලපෑමක් මත වාර්තාව නිකුත් නොකර සිටිනවා ද යන ගැටලුව මෙහි දී පැනනැඟී ඇත.

ලසන්ත වීරකුලසූරිය

Leave A Reply

Your email address will not be published.

five × two =