බළලාගේ බෙල්ලේ ගෙජ්ජිය එල්ලන්නේ කවුද?

විසිවැනි සංශෝධනය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් වූයේ පසුගිය සැප්තැම්බර් දෙවැනිදා ය. එය ඉදිරිපත් කළේ අධිකරණ ඇමැති අලි සබ්රි මහතා ය. එදින ම සියලු ම ඇමතිවරුන්ගේ එකඟතාවෙන් එය සම්මත වූයේ ය. කිසිවකු විරුද්ධ වූයේ නැත. බළලකු ඉස්සරහ භය වෙච්ච මී පැටව් ටික වගේ ශබ්දයක් නැතිව එකඟතාව පළ කළහ. එහෙත්, විස්සේ අඩංගුව පිළිබඳව ජනතාවගේ පැත්තෙන් විවිධ විචේචන එල්ල වන්නට විය. හතරවටෙන් ආපු විරෝධයන් හමුවේ ආණ්ඩුව ඇතුළෙත් අර්බුදය මතු විය. එක එක්කෙනා නා නා ප්‍රකාර අදහස් දොඩවන්නට වූයේ ඉන් පසුව ය. කොහොම වුණත් අන්තිමේ දී අගමැතිවරයා විසින් විස්ස අධ්‍යයනය කිරීම සඳහා කමිටුවක් පත් කළේ ය. ඒ කමිටුවේ සාමාජිකයෝ නව දෙනෙකි. ඉන් පස් දෙනෙක් ම කැබිනට් අමාත්‍යවරු ය. එනම්, කැබිනට් මණ්ඩලයේ දී අත උස්සපු අය ය. එදා අත උස්සලා අනුමත කරලා දැන් අධ්‍යයනය කරන්නේ ය. ඒ කියන්නේ, අනුමත කරලා තියෙන්නේ ම කිසිදු අධ්‍යයනයකින් තොරව ය. විස්ස සම්මත වෙන්නත් කලින් තත්ත්වය මෙයයි. විස්ස සම්මත වුණාට පස්සේ ඇමතිවරුන් වැටෙන තත්ත්වය මේකෙන් ම සිතා ගත හැකි ය. ජනාධිපති ඉස්සරහ වචනයක් කතා කරන්න මැළි වෙන්නේ තමන් පත් වෙන තත්ත්වය ගැන ඇති බිය නිසා ම ය.

සියලු නිෂ්පාදනයන් අර්බුදයට ලක්ව ඇත. විදේශවල වැඩ කරන ලාංකිකයන් එවන මුදල් ද අඩු වී ඇත. මේ අර්බුදයෙන් රට ගොඩ ගන්නට ගෝඨාභයට වෙන උත්තරයක් නැත. බලහත්කාරය පාවිච්චි කිරීම අන්තිම තුරුම්පුව වන්නේ ය. බඩගින්නට, විරැකියාවට එරෙහිව ජනතාව නැඟීසිටින විට එය මැඬපවත්වන්නට නම්, අසීමිත බලයක් අත්‍යවශ්‍ය ම ය. එය ප්‍රජාතන්ත්‍රවාදයෙන් කළ නොහැකි ය. සැබැවින් ම මේ ඇත්තේ එකී අර්බුදයේ ප්‍රකාශනයයි. එනම්, නව ලිබරල්වාදී ආර්ථික අර්බුදයත් එක්ක ඉල්ලා සිටින ඒකාධිපතිවාදයයි.

ආණ්ඩුව පැත්තෙන් දැන් කියන්නේ, එහෙම කමිටුවක් පත් කළේ ප්‍රජාතන්ත්‍රවාදීව අදහස් ඉදිරිපත් කිරීමේ අවස්ථාවක් සඳහා යන්න ය. එසේ නම් කළ යුතුව තිබුණේ, පනත ඉදිරිපත් කළ දවසේ දී ම මේ ගැන අධ්‍යයනය කරන්න යම් කාලයක් අවශ්‍යයි කියා කීම ය. අධ්‍යයනය කිරීමෙන් පස්සේ සංශෝධන ඇත් නම් ඉදිරිපත් කිරීම ය. ඒ සියල්ල අවසන් වුණාට පස්සේ ගැසට් එක මුද්‍රණයට යැවීමය. නමුත්, සිද්ධ වුණේ ඒකෙ අනෙක් පැත්ත ය. සියල්ලෝ ම එකඟ වෙලා අනුමත කරලා දැන් අධ්‍යයනය කිරීම ය. මෙය ලෝක විහිළුවකි. මෙවැනි විහිළුවක් ඇති වුණේ ම විස්සට ආණ්ඩුව ඇතුළෙන් ම ඇති විරෝධය නිසාවෙනි. අර්බුදය එළියට ආවේ එතැනින් ය. පසුගිය පහළොස් වැනිදා පත් කළ කමිටුවේ වාර්තාව අගමැතිවරයාට භාර දුන්නේ ය. එහෙත්, එය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළේ නැත. විය යුතුව තිබුණේ එයයි.

දැන් කියන්නේ, අලුතෙන් ගැසට් එකක් නිකුත් කරන්නේ නැති බව ය. ඒ වෙනුවට ඇති සංශෝධන පාර්ලිමේන්තුවේ කමිටු අවස්ථාවේ ඉදිරිපත් කරන බව ය. එය ඉතා බරපතළ ය. ඒ සංශෝධන මොනවා ද යන්න ජනතාව දන්නේ නැත. අඩුම ගණනේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු දන්නේ ද නැත. ඒවායේ රටට හා ජනතාවට අයහපත් කරුණු තිබුණහොත්, ඒ පිළිබඳව අදහස් දැක්වීමටවත් ඉඩක් නැත. අනෙක් පැත්තට ඒවා පිළිබඳව අධිකරණය තුළ අභියෝගයට ලක් කිරීමේ අවස්ථාවක් ද නැත. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් වැනි බරපතළ නීතිමය වෙනසක් හදිසියේ, අවසන් මොහොතේ සිදු කිරීම බරපතළ වැරැද්දකි. එය පැහැදිලිව ම ජනතාවගේ අදහස් අඩුම ගණනේ සංවාදයකට ලක් කිරීමටවත් අවස්ථාවක් නොදීමකි. ජනතාව සතු අයිතියක් උදුරා ගැනීමකි. එනම්, ජනතාවගේ පරමාධිපත්‍ය බලය උදුරා ගැනීමකි.

කමිටුවේ අධ්‍යයනයෙන් පසු සංශෝධන ගොඩක් ඉදිරිපත් කරන්න වෙනවා යනු හදපු මුල් එකේ අඩුපාඩු ගොඩක් තියෙනවා යන්න ය. ඒ කියන්නේ, හදපු කෙනා ගොඩක් අඩුපාඩු කළා යන්න ය. ඒ නිසා ම දෝ දැන් හදාපු කෙනෙක් හොයා ගන්නට නැත. අයිතිකාරයෙක් නැත. හැමෝ ම කියන්නේ, “මම නම් නොවෙයි” කියා ය. එහෙම කියන්න වුණේ ම හදපු කෙනාට ආපු විරෝධයත් එක්ක ය. ඇමැති මණ්ඩලයේ හැමෝ ම දන්නවා, හැමෝට ම මේකෙන් වෙන්නේ තමන්ගේ ම බෙල්ල කපන්න තවත් කෙනකුට ලයිෂන් එකක් ලබා දීමක් බව. ඒ නිසා ම කට්ටිය වෙන වෙන ම එකතු වුණාම මේකෙන් බේරෙන්න ක්‍රමයක් ගැන කතා කරන්නේය. ඒක හරියට බළලාගෙන් බේරෙන්න මීයෝ රැළක් සාකච්ඡා කළා වැනි ය. බළලා එන කොට ශබ්දය ඇහෙන්න බළලාගේ කරේ ගෙජ්ජියක් එල්ලන්න මීයෝ තීරණයක් ගත්තෝ ය. අන්තිමේ දී බළලා ඇතුළට ආවේ ය. ඒත්, එක මීයෙක්වත් ගෙජ්ජිය එල්ලන්න ඉදිරිපත් වුණේ නැත. අන්තිමේ දී බළලා මීයන් ටික ඔක්කොම කාලා දැම්මේය. අද වෙලා තියෙන්නෙත් ඒක ම ය.

විස්ස සම්මත වෙන්න කලින් ගේන්න හදනවා කියන කොට තත්ත්වය මේක ය. සම්මත වුණාට පස්සේ අගමැති ඇතුළු ඔක්කො ම පත්වන්නේ දැනටත් වඩා දරුණු තත්ත්වයකට ය. දැනටමත් ආණ්ඩු පක්‍ෂය ඩෝසර් කිරීම ආරම්භ කර ඇත. ඊ ළඟට ඩෝසර් කරන්නේ විපක්‍ෂයයි. ඊට පස්සේ තමන්ට ඡන්දය දීපු ජනතාව ය.

එදා ජේ. ආර්. කළේත් ඒ ටික ම ය. ඉස්සෙල්ලා ම ආණ්ඩු පක්‍ෂයේ අයගේ ඉල්ලා අස්වීමේ ලියුම් ගත්තේ ය. තමන්ට ඕනෑ විදියට වැඩ කරන රූකඩ බවට අනෙක් හැමෝ ම පත් කර ගත්තේ ය. එසේ නොවන අය එළියට දැම්මේ ය. සමහර අය සදහට ම අතුරුදන් කළේ ය. ඊ ළඟට පහර දුන්නේ විපක්‍ෂයට ය. අන්තිමේ දී ජනතාවට පහර දුන්නේ ය. ධර්මිෂ්ට ආණ්ඩුවක් හදන්න ආපු ජේ. ආර්. ගෙදර ගියේ මුළු රට ම ඇවිදින මිනී කනත්තක් කරලා ය.

ගෝඨාභය පටන් ගන්නේ ද ඒ සංඥාවෙනි. දැන් ජනතාව හිතන්නේ, රට හදන්න බලය ගන්න හදනවා කියා ය. ඒ නිසා ම ගොඩක් අය නිහඬව ඉඩ දී බලා සිටිති. ඒත්, අවුරුදු දෙක තුනක් යන කොට තමන්ගේ ම මිනීවළ කැපෙනවා තමන්ගේ ම ඇස්වලට දැකගන්නට පුළුවන් ය. එදාට හොඳට ම පරක්කු ය. මේ බලය හා නැති තවත් බලය හදා ගන්නේ, ප්‍රජාතන්ත්‍රවාදය පොඩිපට්ටම් කරන්නට පමණක් ම නොවේ ය. එදා ජේ. ආර්. බලය යොදා ගත්තේ කොල්ලකාරී ආර්ථිකය බලහත්කාරයෙන් ජනතාව මත පැටවීමට ය. පහුගිය කාලය පුරාවට ම එය අර්බුදයට ගියේ ය. අද වන විට රටක් ලෙස රුපියල් කෝටි ලක්‍ෂ දහහතරක ණය බරක හිර කර ඇත.

සියලු නිෂ්පාදනයන් අර්බුදයට ලක්ව ඇත. විදේශවල වැඩ කරන ලාංකිකයන් එවන මුදල් ද අඩු වී ඇත. මේ අර්බුදයෙන් රට ගොඩ ගන්නට ගෝඨාභයට වෙන උත්තරයක් නැත. බලහත්කාරය පාවිච්චි කිරීම අන්තිම තුරුම්පුව වන්නේ ය. බඩගින්නට, විරැකියාවට එරෙහිව ජනතාව නැඟීසිටින විට එය මැඬපවත්වන්නට නම්, අසීමිත බලයක් අත්‍යවශ්‍ය ම ය. එය ප්‍රජාතන්ත්‍රවාදයෙන් කළ නොහැකි ය. සැබැවින් ම මේ ඇත්තේ එකී අර්බුදයේ ප්‍රකාශනයයි. එනම්, නව ලිබරල්වාදී ආර්ථික අර්බුදයත් එක්ක ඉල්ලා සිටින ඒකාධිපතිවාදයයි.

පසුගිය කාලය පුරාවට විවිධ වෙනස්කම් සහිතව අප දැක්කේ මෙයයි. මෙය හුදෙක් ගෝඨාභය රාජපක්‍ෂ නම් පුද්ගලයන්ගේ පුද්ගල කැමැත්ත මත සිදු වන්නක් නොවේ ය. සමස්ත ආර්ථික, දේශපාලන ව්‍යුහයේ ම කඩාවැටීම විසින් ඉල්ලා සිටින දෙයකි. එසේ නම්, කළ යුත්තේ, ගෝඨාභය නම් පුද්ගලයා මත පමණක් මෙහි වරද පැටවීම නොවේ ය. සමස්ත පද්ධතිය කෙරෙහි ම මෙහි විවේචනය එල්ල කිරීම ය. එය ට සැබෑ හේතුව මුළුමනින් ම පරාජය කිරීම ය. ඒ සඳහා වූ සැබෑ කතිකාවතක් අවශ්‍ය වී ඇත. ජේ. ආර්., චන්ද්‍රිකා, මහින්ද, සිරිසේන, ගෝඨාභය යනු හුදෙක් සංකේතාත්මක පුද්ගලයන් පමණි. හරයෙන් ගතහොත් ඇත්තේ, අද පවත්නා ආර්ථික ක්‍රමයේ ම අර්බුදය ය. එකී ආර්ථිකයේ අර්බුදය විසින් ජනතාවගේ ප්‍රශ්න විසැඳීමේ නොහැකියාව ය. එයට උත්තර විදියට විවිධ ව්‍යවස්ථා සංශෝධන කළ ද, ඒ කිසිවක් එයට සැබෑ උත්තර වී නොමැත. උත්තර වන්නේ ද නැත. මේවා සියල්ල ඇත්ත ප්‍රශ්නයට දෙන උත්තර වෙනුවට අලවන පැලැස්තර පමණකි. දැන් ප්‍රශ්නය වී ඇත්තේ, පැලැස්තරය ද තුවාළය තව තවත් වණ වෙන්නක් වීම ය. එය වළක්වා ගැනීම වෙනුවෙන් යම් මැදිහත් වීමක් සිදු කර ගැනීම ය●

ජගදාක්ෂි

Leave A Reply

Your email address will not be published.

5 × five =