ආයුබොවන්ඩ ජී.එල්.

අපේ ගම් පළාත්වල නං ගෑනු ළමිස්සියෙකුට අප්පෙක් නැති දරුවෙක් ලැබුණහම ගමේ දැනුං තේරුන් ඇති වැඩිහිටියො එකතු වෙලා දරුවව ජාතක කොරපු හාදයා කවුද කියල හොයල නීතිපරකාරව දරුවගෙ උප්පැන්නෙට නම දෙනවා. එහෙම තමා ඉතිං ගමේ සඟිස්කෘතිය, සදාචාරය අනුව කරුණු කාරණා සිද්ද වෙන්නෙ. හැබැයි ඉතිං ඔක්ස්පර්ඞ්, කේම්බිරිජ් නොගිය මළපොතේ අකුරක්වත් නොදන්න ගම්බිම්වල ඇත්තො එහෙම කොළාට රට රාජ්ජවල ගෙහුන් මාගල් පරද්දන සැටිපිකේට් කාරිය ගහගෙන ඇවිත් රටයි, ජාතියයි, ආගමයි බේරා ගන්ඩ රාජ සබාවට පැනගත්ත මහදැනමුත්තො දැන් 20වෙනි සංසෝදනේ හදපු එකා හොයාගන්ඩ බැරුව ලෝකෙ හිනස්සනවා.

නීතිය නැමීමේ කලාවේ කෙළ පැමිණි නීති විසාරද අලි සබ්රි උන්නැහැ 20 ගැන ගහපු පුරාජේරුවල හැටියට කවුරුත් හිතා උන්නේ මේ හපන්කොම කොරන්ඩ ඇත්තේ ඒ ඇත්තො කියලයි. අඩු මාසෙන් ඉපදිච්ච හන්ද ද කොහෙදෝ දරුවා නිකම් විකුර්ති වෙලා ඉන්නව දැක්කම තමා කවුරු කවුරුත් තක්කු මුක්කු වෙලා තියෙන්නෙ. සබ්රි උන්නැහැ නං ගත් කටටම කිව්වෙ එයාට කොරන්ඩ ඇහැක් වුණේ අතට ආපු කඩදාසිය විසයබාර ඇමතියා හැටියට කැබිනෙට්ටුවට රිංගවන එක විතරක් ය කියලයි. සියල්ල දත් වීරවංස පඬිතුමාවත් විස්සෙ අප්පච්චි කවුද කියල නොදැන උන්න එක නෙ ජී.ඇල්., පුදුමෙ. කැබිනට් පොරකාස පොරවල් වන කෙහෙළිය-ගම්මන්පිල දෙබෑයො නං සුපුරුදු යුගාසන බයිලා කියල ගොඩින් බේරුණා.

අපරාදෙ කියන්ඩ බැහැ ආයිබොවන්ඩ… ඔහේ නං ඒ අතින් අනිත් අංකූරන්ට වඩා අවංක බව පෙනුණා. මොකා ජාතක කොළත් දරුවා අපේ නිස්පාදනයක් හංදා හවුලේ වගකීම බාරගම්මු

කියන වචන සැට් එක පොරකාස කොරන්න තරන්වත් කොන්දක් තිබීම ගැන හුදීජනයා හැටියට අපේ පොරසාදය තමුන්නැහැට පිරිනමන්න කැමතියි. දරුවගෙ මහ එකා කෝකා වුණත්, මෙහෙම අංගවිකලයෙක් උපදින එක හත්මුතු පරම්පරාවටම නවනිංගිරාවක් හංදා ඉහ නිකට පැහුණු ජේස්ටයෙක් හැටියට ගරු අග්ගරාමාත්තියතුමා ගත්තු තීරණයත් අගය කොරන්ඩ ඕනා. රටක් රාජ්ජයක් වටින නීති චක්කරවර්තියෙක් වන තමුන්නැහැගෙම පොරදානත්වයෙන් පත් කොරපු වරිග සබාව හෙලුවැල්ලෙන්ම හිටපු දරුවට වස්තරයක් එහෙම අන්දලා සැන්-පවුඩර් කාරිය දාලා කලඑළි කොරල ගත්තු බව තමා මාද්දිය වාර්තාවලින් දැනගන්ඩ ලැබුණෙ.

තමුන්නැහැගෙම ගෙපැලට කමිටු සාමාජිකයන් ටික කැඳවලා තියෙන විදිහට සම්බෝලයි, බතුයි ටිකක් කාලා මුල් සන්සෝදනේ තිබුණ ය කියන හිල් ටික වහලා කිසිම අඩුපාඩුවක් නැතුව රෙපෙයාර් කොරපු හැටි දැක බලාගන්ඩ තමා ආයිබොවන්ඩ දැන් සකල ජනතාවම පුල පුලා බලා ඉන්නෙ. දැන් නං ඉතින් කොරෝනා වසංගතේ තියා මහාමාරිය ආවත් ඔය බලගතු වියවස්තා තාප්පෙන් පනින්ඩ බැරි බව නං අපිට සහතිකයි. මිලේනියම් ගිවිසුම අකුළගෙන ඇමෙරිකන්කාරයෝ පැදුරටත් නොකියා පැනල යන හැටි බලන්න අපේ ඇස් පින් කොරලා තියෙන බවත් දැනටමත් දැනෙනවා මහාචාරියතුමෝ. බාගෙ වෙලාවට චීන්නුත් හොඳටම බයවෙලා පෝට්සිටිය ගලවගෙන ගිහින් හොංකොන් පැත්තෙවත් අටවන්ඩ බැරි නැහැ නේ ද?

ඒ ඔක්කොටමත් වඩා ජී.ඇල්., අපිට සැනසිල්ලෙ ඇස් දෙක පියාගන්ඩ හම්බ වෙන්නෙ ගෑනියෙක් මිනිහෙක් කොරන්ඩයි, මිනිහෙක්ව ගෑනියෙක් කොරන්ඩයි විතරක් බැරි ය කියන  ජේ.ආර්. මුත්තගෙ 78 වියවස්තාවටත් වඩා බලසම්පන්න එකක් හදලා එක රටක්, එක නීතියක් ය කියන මුන්නැහැලගෙ ආදර්ස වාක්කිය යටතෙ පැමිණිලිකාරයා විත්තිකාරයා බවට හරවලා, මැරුන් කාපු එකා මිනීමරුවා කොරන්ඩ ඇහැකි නිදහස්, නිවහල් රාජ්ජයක් බිහි කොරන්න පැලැස්තර දාපු 20ට පු`ඵවන් වුණොත් විතරයි●

විශ්ව මිත්‍ර

Leave A Reply

Your email address will not be published.

18 + 11 =