බඩු මිල අඩු කිරීම බොරුවක් බව බන්දුල කියයි

රට තුළ නිෂ්පාදනය කර ගත හැකි සියලු‍ දේ වැඩි වැඩියෙන් නිෂ්පාදනය කළහොත් මිස ඉන් මෙපිට භාණ්ඩ මිල ඉහළ යාමේ ගැටලු‍වට විසඳුමක් නොලැබෙන බව වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසයි. ඔහු මේ බව පැවසුවේ පසුගිය දිනෙක හෝමාගම ප්‍රදේශයේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
“අපිට මේ රටේම නිෂ්පාදනය කර ගත හැකි දේ වැඩි වැඩියෙන් නිෂ්පාදනය කර ගත හැකි නම්, බඩු මිල අඩු වෙනවා. ඒ නිසා තමයි, විදේශවලින් ගෙන්වන භාණ්ඩ ජනාධිපතිවරයා කිසිම හේතුවකටවත් ගෙන්වන්නට දෙන්නේ නැත්තේ. එය කෙටිකාලීන වශයෙන් අර්බුදයක්. දිගුකාලීන වශයෙන් වඩා වාසිදායක ස්ථාවර වෙළෙඳපොළ තත්ත්වයකට ගමන් කරන්නට පුළුවන්” බවයි අමාත්‍යවරයා පවසන්නේ.
වෙළෙඳ අමාත්‍යවරයා විදිහට බඩු මිල සම්බන්ධයෙන් කෙටිකාලීන සහනයක් දීමට නොහැකි බව පවසන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන කියා සිටියේ, “බොරු ප්‍රාතිහාර්ය විසඳුම් නැහැ නේ, ලෝකයේ ඉන්න එක සත්වයෙක් විදිහට තමයි, වෙළෙඳ අමාත්‍යවරයාත් ඉන්නේ. මුළු ලෝකයේම වරායවල්, ගුවන්තොටුපොළවල් වහන කොට ලංකාවේ වෙළෙඳ ඇමතිට බැහැ වෙන රටවල ගුවන්තොටුපොළවල් අරින්න කියලා නියම කරන්න” යැයි ද පැවසී ය.

Leave A Reply

Your email address will not be published.

19 + 12 =