අගමැති වාර්තාව විසිවෙයි, සංශෝධන නොමැතිව 20 පාර්ලිමේන්තුවට

විසි වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත කිසිදු වෙනසකින් තොරව ඒ ආකාරයෙන්ම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අවශ්‍ය කටයුතු කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ උපදෙස් දී තිබේ. ඒ අනුව ලබන 22 දා එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත ය.
අගමැති මහින්ද රාජපක්ෂ විසින් මෙම කෙටුම්පතට අදාළ සංශෝධන ඉදිරිපත් කිරීමට පත් කළ කමිටු වාර්තාව එම කමිටුව විසින් අගමැතිවරයා වෙත භාර දී තිබිණි. එසේම පසුගිය 16දා කැබිනට් මණ්ඩල රැස්වීමට එය ඉදිරිපත් කරන බව එම කමිටුව ප්‍රකාශ කර තිබිණි. එහෙත්, එය කැබිනට් රැස්වීමට ඉදිරිපත් නොකෙරිණි. එම කැබිනට් රැස්වීමේ දී අදාළ වාර්තාව ගැන තීරණයක් ගන්නා බවට ඊට පෙර ආණ්ඩුවේ ඇමැතිවරුන් විසින්ම මාධ්‍යට පවසා තිබුණ ද, එහි දී කිසිවකු ඒ ගැන අදහස් දක්වා තිබුණේ නැත. තවත් ඇමතිවරු පවසා තිබුණේ, කැබිනට් මණ්ඩල සාකච්ඡාවෙන් පසු නව ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව ය.
කැබිනට් රැස්වීමෙන් පසු ජනාධිපතිවරයා අවධාරණය කර ඇත්තේ, අදාළ කෙටුම්පත පෙර පරිදිම ඉදිරිපත් කළ යුතු බවත්, සංශෝධන තිබේ නම්, ඒවා පාර්ලිමේන්තුවේ දී ඉදිරිපත් කොට කාරක සභා අවස්ථාවේ දී තුනෙන් දෙකකින් සම්මත කර ගන්නා ලෙසත් ය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වන සංශෝධනයේ වගකීම තමා භාර ගන්නා බව ද ජනාධිපතිවරයා මෙහිදී පවසා ඇත.
ලබන 22දා 20 වන සංශෝධන කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් පසු එය පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයට ඇතුළත් කරනු ඇත. ඉන් පසු සිවිල් වැසියන්ට ඊට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගත හැකි අතර ඉන් පසුව අධිකරණ තීන්දුව කතානායකවරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිත ය.
අගමැති කමිටුවේ තීරණ:
01. ජනාධිපති ලේකම් කාර්යාලය සහ අගමැත ලේකම් කාර්යාලය විගණකාධිපතිගේ විගණන බලය යටතට             පත් කරන අතර, විගණන කොමිෂන් සභාව තව දුරටත් පවත්වාගෙන යාම.
02. ජනාධිපතිවරයා මූලික අයිතිවාසිකම් පෙත්සමක දී අධිකරණය හමුවේ වගඋත්තරකරු කිරීමට අවස්ථාව          ලබා දීම.
03. කැබිනට් ඇමැති මණ්ඩලය 30ක් දක්වා සහ කැබිනට් නොවන ඇමති ධුර 40ක් දක්වා පැවැති සීමා තව                       දුරටත් පවත්වාගෙන යාම.
04. ඇමති මණ්ඩල දිවුරුමේ දී ඒකීයභාවය ආරක්ෂා කරන බවට පෙර තිබූ වගන්තිය කිසිදු සංශෝධනයකින්               තොරව පවත්වාගෙන යාම.
05. මැතිවරණ කොමිසම් සභාවේ සාමාජිකයන් ප්‍රමාණය පස් දෙනකු දක්වා ඉහළ දැමීමට සහ එහි                                       ගණපූරණය තුන්දෙනකු කිරීම.
06. ද්විත්ව පුරවැසියන්ට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සහ රාජ්‍ය තාන්ත්‍රික තනතුරු දැරීම පිළිබඳව සලකා                          බැලීම.
-ලසන්ත වීරකුලසූරිය

Leave A Reply

Your email address will not be published.

11 − 8 =