“ඒ හැඟීම මගේ අම්මගේ”

- නීටා ප්‍රනාන්දු

“මේක අත්සන් කරලා දෙන්න. රුපියල් විසිපන්දාහක වන්දියක් ගන්න පුළුවන්. චෙක් එකක් තමයි ලැබෙන්නේ.”
“අවුරුදු පහක් තිස්සේ අතුරුදහන් වෙලා හිටපු අයට අපි මරණ සහතිකයක් නිකුත් කරනවා. අපි මරණ සහතිකේ තැපෑලෙන් ගෙදරටම ලැබෙන්න සලස්වන්නම්.”
“හරිනෙ”


මේ ‘පාංශු’ සිනමාපටයෙන් උපුටාගත් දෙබස් කිහිපයක් වුවත්, ලංකාව පසුකළ එක් කාල වකවානුවකදී තමන්ගේ දරුවා සොයා යන ලංකාවේ කිනම් අම්මා කෙනෙකුට වුවත් ලැබෙන සාමාන්‍ය පිළිතුරය. 88/89 යනු ගණනින් නිශ්චිතවම මෙතෙකැයි කියන්නට නොහැකි ජීවිත ප්‍රමාණයක් නන්නාදුන තුවක්කු කරුවන් පිරිසක් විසින් රැගෙන ගිය බවට ඉතිහාස වාර්තා වල සටහන් තබා ඇති කාල වකවානුවකි. නමුදු එලෙස අතුරුදන් වූ දරුවන් ගේ අම්මලා පිළිබඳව කොහේ හෝ තැනක කිසියම්ම සඳහනක් තිබෙනවාද යන්නද සැකය. එම අඳුරු දිනයන්ගෙන් වසර තිහකට පමණ පසුව විසාකේස චන්ද්‍රසේකරම් චිත්‍රපට අධ්‍යක්ෂකවරයා සිය දෙවන චිත්‍රපටය හරහා අපට මගහැරුණු තැනක් ලෙස මේ මහපොළොව මතම සිය දරුවන්ව අත්හැරුණු අම්මලාගේ කතාව ‘පාංශු’ තුළින් ගෙන එයි. ‘පාංශු’ චිත්‍රපටයේ ප්‍රධාන භූමිකාව වන බබා නෝනාගේ චරිතයට පණ දෙමින්, 2019 ප්‍රංශයේ නීස් ජාත්‍යන්තර සිනමා උළෙලේදී හොඳම නිළිය සඳහා වන සම්මානයට පාත්‍රවන නීටා ප්‍රනාන්දුගේ ‘පාංශු’ හි අත්දැකීම මේ සංවාදයට මූලික වේ.

• ‘පාංශු’ චිත්‍රපටයට ඔබ සම්බන්ධ වෙන්නේ කොහොමද ?

මුලින්ම විසාකේස තමයි මට ෆෝන් කෝල් එකකින් ආරාධනාවක් කරන්නේ, මෙහෙමයි 88/89 ලංකාවේ භීෂණ සමය ගැන ෆිල්ම් එකක් කරනව කියල. ඒකේ ප්‍රධාන චරිතය තමයි බබා නෝනා. ඩෝබි කෙනෙක්ගේ චරිතයක් කිව්වාම මම ආසා වුණා මොකද, ෆිල්ම් එකේ විදිහට ඒ චරිතය දුර්ලභ වගේම විප්ලවකාරී චරිතයක්. ඉතින් මේ චරිතයේ කතාව තමයි නැතිවුණ පුතෙක්ව හොයාගෙන යන අම්ම කෙනෙක්ගේ කතාව. මේ.චරිතයේ කතාවටම සමාන කතාවක් මගේ ජීවිතේ ඇතුලේ තියෙනවා. නමුත් චිත්‍රපටිය ඉවරවෙනකල්ම මම මගේ අත්දැකීම විසාට කියල තිබුනේ නෑ.

• නීටා ප්‍රනන්දුව, බබා නෝනට එතරම්ම සමීප කළ ඒ අත්දැකීම විස්තර කළොත් ?

හරියටම 1971 දී මගේ සහෝදරයෙකුට මේ වගේ සිදුවීමක් වුණා. මගේ මල්ලි ඒ වෙද්දී සරසවි සිසුවෙක්. ඒ කාලේ සරසවි ශිෂයෙක් කියන්නේ ජීවිතය පවා අහිමි වෙන්න පුළුවන් කාරණාවක්. ඉතින් දවසක් මට මතකයි මේ චිත්‍රපටියේ තියෙන විදියටම වාහනයක් ඇවිත් මල්ලිව දාගෙන යන්න හැදුවා. අපේ අම්මත් එදා වාහනේ පිටිපස්සෙන් එයාට පුළුවන් තරම් දුර දුවගෙන ගියා. මගේ පුතාව අරන් යන්න එපා කිය කියා. ඉතින් මට බබා නෝනගේ වේදනාව, අත්දැකීම අමුතුවෙන් තේරුම් ගන්න දෙයක් තිබුනේ නෑ. මම ඒ වෙද්දීත් ඒ වේදනාව ඇස්දෙකෙන්ම දැකලා තිබුනා. නමුත් මගේ මල්ලිව අරන් ගියපු වෙලාවේ මගේ අම්මා විඳපු දුක මම කාටවත්ම කිව්වේ නෑ. මොකද විසා ඒ තරම් හොඳට මේ බබා නෝනගේ චරිතය මට පෙව්වා. මම හිතන්නේ මේ තරමින් බබා නෝනගේ චරිතය තුළට ගිහින් මට මේ චරිතය රඟපාන්න ලැබුනේ ඒ නිසා. අනිත් එක බබා නෝනගේ චරිතයේ බාහිර පෙනුම රෙද්ද හැට්ටේ අඳින හැටි, රෙදි පොට්ටනිය ඔළුවේ තියාගෙන යන හැටි, කන බොන හැටි වගේ දේවල් ටික අපේ ගෙදර මම පොඩිකාලේ හිටපු රෙදි නැන්දගේ ස්වරූපය. නමුත් ඒ හැඟීම මගේ අම්මගේ.

• ඔබ මේ දේවල් එක්ක ‘පාංශු’ චිත්‍රපටියට සූදානම් වුණේ කොහොමද ?

විසා ස්ටෝරි බෝඩ එකකුත් අරන් ඇවිත මාව හම්බවෙලා කතාව මේ විදියයි, බබා නෝනගේ චරිතේ මෙහෙමයි කියල මට පෙන්නුවා. එතනින් මම ඒ චරිතෙට හුඟක් කිඳාබැස්සා. පස්සේ මට පීනන්න පුළුවන්ද අහපුවාම මම කිව්වා පීනන්නනම් බෑ මම හරි බයයි වතුරට කියල. ඒත් මම ට්‍රයි කරන්නම් කියල මාස හයක් පීනන්න පුරුදු වුණාට මට ඒක බැරිවුණා. එතනදී මම විසාට කිව්වා
“මට නම් පීනන්න බෑ මේකට වෙන කෙනෙක් ගන්න වෙයිද දන්නේ නෑ විසා” කියල. විසා ආයේ කියනවා නෑ එහෙම ඕනේ නෑ උඩ අතට පීනුවොත් ඇති කියල. ඊට පස්සේ ආයේ උඩ අතට පීනන්න ට්‍රයි කළා. ඒක හරිගියා. ඊට පස්සේ සති දෙකක වැඩමුළු තිබුනා මේ චරිත පිළිබඳව. ඒකේදී අපිට චරිත පෙව්වා කිව්වොත් මම හරි.

• අවසානයේ මේ පුළුල් තිරයේ බලපුවාම ‘බබා නෝනා’ ගැන නීටා ප්‍රනාන්දුට හිතෙන්නේ මොනවද ?

මේ අම්මා උසාවියට යනවා, ඉස්පිරිතාලෙට යනවා තමන්ගේ පුතා ගැන හොයල හොයල අන්තිමේට සාධාරණයක් ඉෂ්ටවෙන්නේ නැතුව ගිහින් පස්සේ සමූහමිනීවළ ළඟදි පුතාගේ සරම දැකපුවාම ස්ථීර වෙනවා තමාගේ පුතා නැතිවෙලා කියල. ඒ දැක්කම අනිත් අතට එයාට හැඟීමක් මතුවෙනවා තමාගේ පුතත් මේකට සම්බන්දයිද, රූපවතී නෝනට වෙඩි තියන්නේ පුතාද කියන තැනින්. එතකොටම අනිත් පැත්තෙන් එනවා තමාගේ මැරුණු පුතා නැවත එන්නේ නෑ කියන කාරණය. ඔහොම කාරණා තුනක් එක්කහු වෙනකොට මේ ගෑනුකෙනා අසරණ වෙනවා. මට හිතෙන්නේ වැඩියෙන්ම දැනුන තැන තමයි පුතා ආයේ එන්නෙ නෑ කියන තැන. නමුත් ඒ වෙද්දීත් තමන්ගේ පුතාව අරන් ගියපු මනුස්සයාගේ උපදින්න ඉන්න දරුවට පවා සාප කරලා ඉවරයි. නමුත් එක තැනකදී බබා නෝනා එක පාරටම අතෑරලා දානවා. එක අතකට ගත්තාම එහෙම ගෑනියෙක් මේ පොළව උඩ වෙන මොනව කරන්නද ?

• නීටා ප්‍රනාන්දුගේ රංගන ජීවිතේ තුළ ‘පාංශු’ සනිටුහන් වෙන්නේ මොන විදිහටද ?

මගේ සිනමා ජීවිතේ සන්දිස්ථාන තුනක් තියෙනවා. එකක් ‘දුහුල් මලක්’ ඒක සම්මත අසම්මත ආදරයක්. බැඳපු කෙනෙක් ඉන්නකොට තවත් කෙනෙක් එක්ක යනවා. අසම්මත වුණත් ඒක ආදරය. ඊගාවට ‘පවුරු වළලු‍’. එතන තියෙන්නේ වැඩිහිටි ආදරයක්. වැඩිහිටි පළවෙනි ආදරය නිසා අසනීපකාරයාව ගෙදර අරන් ඇවිත් මානුෂික හැඟීම් නිසා විඳින දුක. ඊට පස්සෙ ‘පාංශු’ වල
තියෙන්නෙ මාතෘත්වය. මං හිතන්නෙ අම්ම කෙනෙක්ගෙ ආදරය තමයි ලෝකෙ තියන ශ්‍රේෂ්ඨම ආදරය.
-සංවාදය – වරුණ උදේශ් ජයසිංහ

Leave A Reply

Your email address will not be published.

seven + 5 =