විග්නේෂ්වරන්ට එරෙහි නඩුව ඉවත් කරගනී ?

වර්තමාන පාර්ලිමේන්තු මන්ත්‍රී, උතුරු පළාත් සභාවේ හිටපු මහ ඇමති සී.වී. විග්නේෂ්වරන්ට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ  ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් නඩුව ඉල්ලා අස් කර ගන්නා බව උතුරු පළාත් සභාවේ හිටපු ඇමතිවරයෙකු වන පී.ඩෙනීෂ්වරන් සදහන් කර ඇත.
ඩෙනීෂ්වරන් විසින් ඔහුගේ එම තීරණය විග්නේෂ්වරන් මන්ත්‍රීවරයා වෙත පසුගියදා දුරකථනයෙන් ද දැනුම් දී තිබේ.
එවකට උතුරු පළාත් මහ ඇමතිවරයා ලෙස කටයුතු කළ සී.වී. විග්නේෂ්වරන් විසින්, උතුරු පළාත් සභාවේ ඇමැති ධුර අවභාවිත කරමින් පී. ඩෙනීෂ්වරන් දූෂණ-වංචා වල නිරත වු බවට චෝදනා කරමින් ඔහුව පළාත් සභා ඇමති ධුරයෙන් ඉවත් කරන ලද අතර, පළාත් සභා මහඇමතිවරයෙකුට එවැනි තීරණයක් අත්තනෝමතිකව ගත නොහැකි යැයි පවසමින් සහ එමගින් තමන්ගේ මූලික අයිතිවාසිකම් කඩවුයේ යැයි ප්‍රකාශ කරමින් ඩෙනීෂ්වරන් විසින් විග්නේෂ්වරන්ට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කරනු ලැබිණි. එම පෙත්සමේ විභාගයෙන් පසුව තීන්දුව ඩෙනීෂ්වරන්ට වාසිදායක ලෙස ලැබුණු අතර, කෙසේ වෙතත් එම තීන්දුවට අදාළව විග්නේෂ්වරන් කටයුතු නොකිරීමෙන් අධිකරණයට අපහාසයක් සිදු විණැයි නැවතත් ඩෙනීෂ්වරන් විසින් විග්නේෂ්වරන්ට එරෙහිව නඩුවක් ගොනු කර ඇත.

මෙම නඩුව ඉල්ලා අස්කර ගැනීම සම්බන්ධයෙන් උතුරු පළාත කේන්ද්‍ර කරගෙන කටයුතු කරන මාධ්‍යවේදීන් වෙත අදහස් දක්වමින් ඩෙනීෂ්වරන් මෙසේ පවසා ඇත.

“විග්නේෂ්වරන් මහතාව සිරගත කිරීමේ වුවමනාවෙන් මම එම නඩුව ගොනු කරනු ලැබුවේ නැහැ. මා හට සිදුවූ අසාධාරණය වෙනුවෙන් සාධරණ විසදුමක් පමණක් ඉල්ලා එම නඩුව ගොනු කරනු ලැබුවා. මගේ වයස අවුරුදු අටක් වයසැති දරුවා කිහිප අවස්ථාවකම මගෙන් ප්‍රශ්න කර සිටියේ විග්නේෂ්වරන් මහතා මහලු බැවින් ඔහු සිරගත වූවොත් ඔහු පව් නේද යන්නයි. මගේ පුතා මේ ප්‍රශ්නය කිහිප අවස්ථාවකදීම අසා සිටියා. අනෙක් විශේෂ කාරණය වන්නේ පසුගිය දිනවලදී විග්නේෂ්වරන් මහතාට පාර්ලිමේන්තුවේදී මුහුණ දීමට සිදුවූ පීඩාකාරි තත්ත්වයයි. මේ සියලු කරුණු සලකා බලා ඔහුට එරෙහිව මා විසින් ගොනු කර ඇති නඩුව ඉල්ලා අස්කර ගැනීමට මා තීරණය කර තිබෙනවා.”

මේ පිළිබදව කළ විමසීමකදී පාර්ලිමේන්තු මන්ත්‍රී සී.වී. විග්නේෂ්වරන් සදහන් කළේ තමන් පසුගියදා කතරගම දේවාලයේ ආගමික වතාවත්වල නිරතවෙමින් සිටියදි ඩෙනීෂ්වරන් හිටපු පළාත් සභා ඇමතිවරයා තමන්ගේ දුරකථනයට ඇමතුමක් ගත්  බවත්, එහිදී තමන් පාර්ලිමේන්තුවේ දෙමළ ජනතාව වෙනුවෙන් හඩ නැගීම වෙනුවෙන් ප්‍රශංසා කළ හෙතෙම ඔහු තමන්ට එරෙහිව ගොනු කර ඇති නඩුව ඉල්ලා අස්කර ගන්නා බව පැවසූ බවත් ය. කෙසේ වෙතත් ඊට අදාළ නඩු විභාගය මේ සතියේ පැවැත්වෙන බවත්, තමන් ඊට සූදානම් වන බවත් විග්නේෂ්වරන් වැඩිදුරටත් පවසා සිටී.

Leave A Reply

Your email address will not be published.

twelve + thirteen =