“ධර්මසිරිගෙ සිනමාව ජීවිතයෙන් උපන්නක්”

ජීවන්ත දයානන්ද- සිනමා ලේඛක-විචාරක

ඔබ ලියූ ‘වම් ඉවුරේ තුන්වැන්නා’ කෘතිය ගැන කතාකරන්න කලින් කියන්න සිනමාව වම් ඉවුර දකුණු ඉවුර කියල බෙදන්න පුළු‍වන්ද? එහෙම බෙදන්නේ කොහොමද ?

ඇත්ත වශයෙන්ම සිනමාව වම් ඉවුර හෝ දකුණු ඉවුර ලෙස තබා කලාත්මක හෝ වෙළඳ වශයෙන්වත් බෙදීමක් කළ නොහැකිය. එහෙත් සිනමාව පමණක් නොව ලෝකයේ බොහෝ දේ බෙදා දැක්වීම මානවයා ලොව පහළ වූ දා සිටම සාමාන්‍යයෙන් කෙරෙන දෙයක්. එය ඉදිරියටත් එසේම සිදු වේවි. මෙයට දශක 6කට පමණ පෙර ප්‍රංශයේ සේන් නදියේ වම් ඉවුරේ එක්තරා coffee බොන අවන්හලකට සවසට එකතුවී ඒ වන විට පැවති සිනමාවට සපුරා වෙනස් අදහස් දරන තරුණ විකල්ප, රැඩිකල් සිනමාවේදීන්ගේ සංවාද ඔස්සේ නව සිනමා රැල්ලක් බිහි වුණා. ඒක තමයි ප්‍රංශ නව රැල්ල. ඇලන් රෙනේ, ප්‍රන්ශුවා troofo , අක්නස් වර්ඩා වැනි සිනමාවේදීන් සහ වේදිනියන්ගෙන් මෙම පෙරළිකාර රැල්ල ඇති වුණා. මේක තමයි ලෝකයේ වම් ඉවුර. ඉතින් දේශීය සිනමාවේ ලෙස්ටර් ජේමිස් පීරිස්, ජී.ඩී.එල්. පෙරේරා සහ අමරනාත් ජයතිලක වැන්නන්ගේ සිනමාවට ප්‍රතිපක්ෂව චූල මට්ටමින් ගොඩනැඟු‍ණු සිනමා රැල්ල ලාංකීය සිනමාවේ වම් ඉවුරයි.

හොඳයි එහෙම නම් කවුද පළමුවැන්නා හා දෙවැන්නා? ඔවුන් සුවිශේෂී වෙන්නේ කොහොමද ?
දේශීය සිනමාවේ ගොඩනැඟු‍ණු වම් ඉවුර ගැන කතා කරද්දි පළමුවෙන්ම වම් ඉවුරට පා තැබුවේ වසන්ත ඔබේසේකර. ඒ 1970දී වෙස්ගත්තෝ චිත්‍රපටය නිර්මාණය කරමින්. එහෙත් සිනමාවේදියකු ලෙස වසන්ත අභිබවා ලොකු ආන්දෝලනයක් ඇති කළේ පතිරාජ අහස්ගව්වෙන්. මං හිතනවා ලංකාවේ වම් ඉවුර ආරම්භ කළේ පතිරාජ කියලා. ඔහු වම් ඉවුරේ පුරෝගාමියා ලෙස මා සලකනවා. මේ අනුව වම් ඉවුරේ දෙවැන්න වන්නේ වසන්ත ඔබේසේකරයි. තෙවැන්නා ධර්මසිරි බණ්ඩාරනායකයි. මොවුන් සුවිශේෂී වන්නේ ලෙස්ටර් දියත් කර තිබූ සිනමාවට සමාන්තරව වෙනත් මගක ගිය නිසයි. එහිදී විරැකියාව, තරුණ අසහනය, පන්ති භේදය සහ නව දේශපාලන ප්‍රවණතා සිනමාවෙන් කතා කළා. ඒ වනවිට මෙරට සක්‍රීයව තිබූ සිනමා විචාරය මේ ඇවිලෙන ගින්නට පිදුරු දැමීමක් බවට පත්වුණා.

දැන් අපි තුන්වැන්නා ගැන කතාකරමු. ධර්මසිරි සිනමාවලෝකනය කෘතිය පාඨකයාට භාර කර, එහි කතුවරයා හැටියට ධර්මසිරි බණ්ඩාරනායක සිනමා භාවිතාව ගැන එක වාක්‍යකින් කියන්න.
       ධර්මසිරි නිර්මාණය කළේ සිනමා කෘති පහයි. මෙම පහ දෙවිදිහක්. පළමු කොට නිර්මාණය කළ ‘හංසවිලක්’ සහ ‘තුන්වෙනි යාමය’ ඔහු ඒ වන විට ගුරු කොටගෙන සිටි නැගෙනහිර යුරෝපීය සිනමා ශෛලියට අනුගත වන බවක් පෙන්නුවා. එහෙත් සුද්දිලාගේ කතාවෙන් පසු කළ නිර්මාණවලදී පෙරකී ශෛලිය සපුරා බැහැර කළා. ඔහුගේ සිනමාව ගැන මට එක වැකියකින් මෙවැන්නක්‌ ප්‍රකාශ කළ හැකියි. ඔහු කවර ශෛලියකින් චිත්‍රපට කර තිබුණත් ඒවා අවසානයේ ස්වකීය ජීවිතය කොටගෙන කලා කෘති බවට පත්කර තිබෙන බව කිව හැකියි.

ලංකා සිනමාවේ අනාගතය ගැන ඔබේ පුරෝකතනය මොකක්ද ?
ලාංකීය සිනමාවේ හෙට දවස අවිනිශ්චිතයි. ගතවූ වසර 70 තුළ සිනමාවේ පෞඩත්වය කෙමෙන් බිඳ වැටී ඇති බව මැනවින් පැහැදිලියි. 1948 සිට මෙතෙක් පැවති සියලු‍ පාලන තන්ත්‍ර වලින් 1970 බලයට පත් කරපු සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ සමඟි පෙරමුණු ආණ්ඩු පාලන සමය තුළ පමණයි සිනමාවට පැහැදිලි රාජ්‍ය අනුග්‍රහයක් ලැබුණේ. ඒ හැර ලෝකයා රවටන තාවකාලික බොරු පැලැස්තර නිරන්තරව සිද්ධ වුණා. ලංකාවේ සිනමාව රාජ්‍ය අනුග්‍රහය යටතේ දිනවන දවසක් මම දකින්නේ නැහැ. මේ සිදුවී ඇති විනාශයට
පාලන තන්ත්‍රයන් පමණක් නොව ඒ දේශපාලන පක්ෂවලට සක්ක ගසා පෞද්ගලික රහසිගත ජයග්‍රහණ උදෙසා සටන් කළ ප්‍රසිද්ධ සිනමා කලාකරුවන් රැසක් ද වගකිව යුතුයි.
සංවාදය –විමල් කැටිපෙආරච්චි 

Leave A Reply

Your email address will not be published.

3 × 2 =