අවනීතියට ලයිෂන් දෙන විසිවන සංශෝධනය

2018 පළාත් පාලන මැතිවරණයෙන් රටේ පළාත් පාලන ආයතන අතිවිශාල ප්‍රමාණයක බලය හිමිකර ගත්තේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණයි. පසුගිය ජනාධිපතිවරණයේදී ලක්ෂ 69ක පමණ විශාල ජනවරමකුත්, මහ මැතිවරණයේදීද ඊට ආසන්න විශාල ජනවරමකුත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට හිමි විය. ඒ අනුව වත්මන් ආණ්ඩුව පාර්ලිමේන්තුවේ 2/3 බලය සකස්කරගෙන තිබේ. අගමැතිවරයා මහින්ද රාජපක්ෂය. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂය. ජනාධිපති හා අගමැති දෙදෙනා සොහොයුරන්ය. මේ සියලුදෙනා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේය. එනම් එකම පක්ෂයේය. රට හදන ‘සෞභාග්‍යයේ දැක්ම’ නමින් වැඩපිළිවෙළක්ද ඉදිරිපත් කර තිබේ. තීන්දු තීරණ ගැනීමටත් ඒවා ක්‍රියාත්මක කිරීමටත් ආණ්ඩු පාර්ශ්වයට අවශ්‍ය උපරිම බලය ලැබී තිබේ. එනම් ආණ්ඩුවේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට කිසිදු බාධාවක් ඇත්තේම නැත.

එසේ තිබියදී මේ වන විට ඉදිරිපත් කර තිබෙන 20වන සංශෝධනයෙන් ජනාධිපතිවරයා වෙත සියලු බලතල ගොනුකරගැනීමේ අවශ්‍යතාවය කුමක්ද යන ප්‍රශ්නය මතුවෙයි.

ධනවාදී ක්‍රමය තුළම ප්‍රජාතන්ත්‍රවාදී සංකල්පය සොයන අය එවැනි රටක අධිකරණය, ව්‍යවස්ථාදායකය සහ විධායකය යන කුළුණු තුන එක හා සමාන බලතල සහිතව එකිනෙකින් ස්වාධීනව ක්‍රියාත්මක විය යුතු බව පිළිගනිති. එහෙත් ‘20’ න් සිදුකර ඇත්තේ අධිකරණය හා ව්‍යවස්ථාදායකය ජනාධිපති බලතලවලට යට කිරීමයි.

ජනාධිපතිවරයාට මුක්තිය ලබාගැනීමෙන් ඔහුගේ කිසිදු ක්‍රියාවක් කිසිවකුටත් ප්‍රශ්න කළ නොහැකි වෙයි. එවැනි ආවරණයක් ඔහු පනවා ගන්නේ අනීතික ක්‍රියා කිරීමට ඔහුට අවශ්‍යව ඇති නිසාද යන ප්‍රශ්නය ඒ අනුව මතුවෙයි. 1977න් පසු මෙසේම මුක්තිය හිමිකරගත් ජේ.ආර්. ජයවර්ධන සිදුකළ ක්‍රියාවන්ගෙන් සිදුවූ විනාශය මෙරට ජනතාවට අමතක විය නොහැක. වසර 10ක් ජනාධිපතිකම් කළ මහින්ද රාජපක්ෂ පාලන කාලයද මෙවැනි කළු පැල්ලම් රැසක් ඇති කරගත් කාලයකි. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා 2019 දී දින 52 හදිසි ආණ්ඩුවක් පිහිටුවීම මුළුමනින්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළේය. ඒ නිසා ‘ජනාධිපතිවරු වැරදි කරන්නේ නෑ’ යනුවෙන් කිසිවකුටත් කිව නොහැකිය.

‘20’ ට අනුව පාර්ලිමේන්තුවට වසරක් කල් පිරීමෙන් පසු එය විසුරුවා හැරීමට ජනාධිපතිවරයාට බලය හිමිවෙයි. එයින් පෙනී යන්නේ 2/3 බලයක් තමන්ට හිමිව තිබෙන පාර්ලිමේන්තුව පවා ජනාධිපතිවරයාට විශ්වාස නොමැති බවද? එසේම ‘20’ ට අනුව ජනාධිපතිවරයාට අභිමත මොහොතක අගමැතිවරයා තනතුරින් පහ කිරීමටද හැකිවෙයි. ඒ අනුව බලන විට අගමැති තනතුරේ සිටින තම වැඩිමහල් සොහොයුරා පවා ජනාධිපතිවරයාට අවිශ්වාසද යන ප්‍රශ්නය මතුවීම වැලැක්විය නොහැකිය. එසේම පැය 24ක් හෝ ජනාධිපතිවරයා නියම කරන කාලසීමාවක් තුළ හදිසි පනත් සම්මත කිරීමට හැකිවන පරිදි සංශෝධනයක් ‘20’ තුළ අඩංගු කර තිබේ. එයින් අදහස්වන්නේ දැනට පවතින මහජන අදහස් ලබාගැනීමට හා විරෝධතා ගොනුකිරීමට ලබාදෙන කාලසීමාව සීමාකර හදිසියේ පනත් සම්මත කිරීමට ඉදිරියේදී බලාපොරොත්තු වන බවයි. මෙය ඉතාම බරපතළ මෙන්ම භයානක තත්ත්වයකි. රටේ පවතින මූලික නීති රීති වලට අදාළ කරුණු වන නිසාවෙන් ඊට අදාළ කෙටුම්පත් මහජන අදහස් සඳහා ගැසට් මගින් ප්‍රසිද්ධ කර, අනතුරුව පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයට ඇතුළත් කිරීම සාමාන්‍ය ක්‍රමයයි. සාමාන්‍යයෙන් මෙම ක්‍රියාවලියට ප්‍රමාණවත් කාලයක් ලබාගන්නේ රටේ මූලික නීති යනු කිසිවෙකුටත් හදිසියේ වෙනස් කළ නොහැකි ඒවා විය යුතු නිසාය.

මේ ‘20’ ඇති කරුණු කීපයක් පමණි. තවත් මෙවැනිම බරපතළ කරුණු ගණනාවක් ‘20’ හි ඇත.

මේ සියල්ලෙන් පෙනී යන්නේ ජනවරමින් සියලු නෛතික බලයන් හිමිව තිබියදී ජනාධිපතිවරයා විසින් මහජනතාව අකමැති, තමන්ගේ පක්ෂයේම පාර්ලිමේන්තු මන්ත්‍රීවරු අකමැති, ඇතැම්විට අගමැති පවා අකමැති දේවල් කිරීමට සූදානම් වන බවය. ඒ සඳහා වූ අවසර පත්‍රයක් ‘20’ හරහා ලියාගන්නා බවය.
මේ දිනවල ‘20’ වෙනුවෙන් කතාකරන අය පොදු ජනතාවගේ පමණක් නොව තමන්ගේම ගෙල සිරකරගන්නා
බව නොදැන සිටීම කනගාටුවට කරුණකි.

 

Leave A Reply

Your email address will not be published.

16 + six =