මාධ්‍යවේදී ජමාල් කෂෝගී ඝාතන නඩුව අවසන් නියෝග දුන් පිරිස නිදහස් !

මාධ්‍යවේදී ජමාල් කෂෝගී ඝාතකයන්ට ලබා දී තිබූ මරණ දඬුවම අත්හිටුවමින්, ඔවුන්ට වසර 07 සිට 20 දක්වා සිරදඬුවමක් ලබා දීමට සෞදි අධිකරණය තීරණය කර තිබේ. ඒ සමඟම නඩු ගොනුව වසා දමන බවට ද නිල වශයෙන් ප්‍රකාශ කර ඇත.

ඝාතනයේ වගඋත්තරකරුවන් අතුරින් පස් දෙනකුට වසර 20ක සිරදඬුවම් සහ තිදෙනකුට වසර 07 සිට 10 දක්වා වූ සිරදඬුවම් නියම කෙරිණි. ඝාතනයට සම්බන්ධ සැකකරුවන් 08 දෙනකු මෙතෙක් හඳුනාගෙන නැත. කෂෝගීගේ පුත්‍රයා විසින් ඝාතකයන්ට සමාව දිය යුතු බවට කළ ප්‍රකාශයකින් පසු මෙසේ ඔවුන්ට ලබා දුන් දඬුවම ලිහිල් කිරීමට අධිකරණය කටයුතු කර ඇත. කෙසේ වෙතත්, එක්සත් ජාතීන්ගේ සංවිධානය මෙය හඳුන්වා ඇත්තේ, යුක්තිය උපහාසයට ලක් කිරීමක් ලෙස ය. එම සංවිධානයේ මානව හිමිකම් කොමසාරිස්වරයාගේ ප්‍රකාශක රූපට් කොල්විල් පවසා තිබුණේ, කෂෝගී ඝාතනයට අදාළ නඩු විභාගය මුළුමනින්ම විනිවිදභාවයෙන් සහ වගවීමෙන් තොර වූවක් බවයි. මෙම නඩු විභාගය මානව හිමිකම් සංවිධානවල සහ ජ්‍යෙෂ්ඨ නීතිවේදීන්ගේ බරපතළ විවේචනවලට ලක් වූ අතර, ඝාතනයට නියෝග දුන් පාර්ශ්ව කිසිවකට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොවූ බව ඔවුන් විසින් අවධාරණය කර තිබිණි.

සෞදියේ නීති ප්‍රධානියාගේ කාර්යාලය උපුටා දක්වමින්, ඇමෙරිකාවේ වොෂින්ටන් නුවර පිහිටි අරාබි මධ්‍යස්ථානයේ ඛලීල් ජාෂාන් අල්-ජසීරා පුවත් සේවයට සඳහන් කර තිබුණේ, පසුගිය 07දායින් පසු අදාළ ඝාතනය පිළිබඳ නඩුව සදාකාලයටම වසා දමා අවසන් බවයි. ජමාල් කෂෝගී පවුලේ සමීපතමයකු වන ජාෂාන් වැඩි දුරටත් පවසන්නේ, මෙතෙක් හෙළිදරවු වී නැති කෂෝගීගේ සිරුරට කුමක් සිදු වූයේ ද යන්න බරපතළ ගැටලුවක් බවයි. 2019 දෙසැම්බර් මාසයේ දී කෂෝගී ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වූ පිරිසට මරණ දඬුවම නියම කෙරිණි.

මාධ්‍යවේදී ජමාල් කෂෝගී මුල දී සෞදි රජ පවුලට ඉතා සමීපව කටයුතු කළ අයෙකි. ඉන්පසුව ඇති වූ ගැටුමක් නිසා ඔහු ඇමෙරිකාවට පලා ගොස් ඇත. ඇමෙරිකාවේ පදිංචිව සිටිමින් ‘වොෂින්ටන් පෝස්ට්’ පුවත් පතේ ස්ථිර තීරු ලිපි රචකයකු ලෙස කටයුතු කර ඇති ඔහු මෙම තීරු ලිපි මඟින් සෞදි පාලනය බරපතළ ලෙස විවේචනය කර ඇත● 

ශාලික විමලසේන

Leave A Reply

Your email address will not be published.

3 × 3 =