2020 ස්වර්ණ පුස්තක සම්මානය එරික් ඉලයප්ආරච්චිගේ‘පේත’ කෘතියට

ස්වර්ණ පුස්තක සම්මාන උලෙළ 14 වැනි වරටත් කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී 12 දා පැවති අතර සාහිත්‍යය මාසයට හා කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට සමගාමීව ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය මගින් වාර්ෂිකව සංවිධානය කරන මෙහි වසරේ ප්‍රශස්තම කෘතියට හිමි ස්වර්ණ පුස්තක සම්මානය හිමිවූයේ එරික් ඉලයප්ආරච්චි විසින් රචනා කරන ලද ‘පේත’ කෘතියටය.
‘පේත’ ඇස්. ගොඩගේ සහ සහෝදරයෝ සමාගම විසින් පළකරන ලද කෘතියකි.

‘2020 ස්වර්ණ පුස්තක සම්මාන උළෙලේ’ ප්‍රධාන ආරාධිතයා ලෙස විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමෙහි සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග සහභාගී වූ අතර වසරේ ප්‍රශස්තම කෘතියට හිමි ස්වර්ණ පුස්තක සම්මානය ලබා ගැනීමට එරික් ඉලයප්ආරච්චි පැමිණ නොසිටි අතර ඔහු වෙනුවෙන් එම සම්මානය ලබාගත්තේ ජනමාධ්‍යවේදී හා ප්‍රවීණ කලාකරු බුද්ධදාස ගලප්පත්ති විසිනි. සම්මාන උලෙළ සදහා තමාට ආරාධනා පත්‍රයක් නොලැබුණු බැවින් තමා සහභාගී නොවන බව එරික් ඉලයප්පෙආරච්චි බුද්ධදාස ගලප්පත්ති වෙත දුරකථනයෙන් පැවසු බුද්ධදාස ගලප්පත්ති සම්මානය ලබා ගනිමින් පැවසීය.

ඒ සමඟම පසුගිය වසරේ ප්‍රකාශිත නවකතා අතුරින් අවසන් වටයට තේරුණු කෘති පහකට සම්මාන සහ මුදල් ත්‍යාග පිරිනැමීම සිදු විය.

අවසන් වටයට තේරී පත්වූ, සරසවි ප්‍රකාශන යක් වූ සුරත් ද මැල් රචනා කළ ‘තී හා තා’, විදර්ශන ප්‍රකාශනයක් වූ ශමෙල් ජයකොඩි රචනා කළ ‘කුමර කොබෙයි’, සරසවි ප්‍රකාශනයක් වූ සුනේත්‍රා රාජකරුණානායක රචනා කළ ‘නිශ්ක්‍රාන්තිය’, විදර්ශන ප්‍රකාශනයක් වූ ලියනගේ අමරකීර්ති රචනා කළ ‘රතු ඉරි අඳින අත’ යන කෘති වෙනුවෙන් ද සම්මාන හා මුදල් ත්‍යාග පිරිනැමිණි.

ස්වර්ණ පුස්තක උත්තරීතර මණ්ඩලයේ සභාපති ආචාර්ය සරත් අමුණුගම, සංස්කෘතික කටයුතු අමාත්‍යංශයේ අතිරේක ලේකම් එස්. ඩී. එස්. මල්කාන්ති, ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ බෞද්ධ හා පාලි අංශයේ ප්‍රධාන කථිකාචාර්ය දිනේෂ් ගුණතිලක, සංස්කෘතික කටයුතු දෙපාර්තුමේන්තුවේ අධ්‍යක්ෂිකා තරණි අනෝජා ගමගේ, පොත් ප්‍රකාශකයන්ගේ සංගමයේ සභාපති උපාලි වනිගසුරිය සහ ලේඛක ලේඛිකාවෝ ඇතුළු විශාල පිරිසක් එම අවස්ථාවට සහභාගී වූහ.

Leave A Reply

Your email address will not be published.

five + nineteen =