එදත් අදත් හෙටත් Mulan ව⁣ගේ ගැහැනු ඒ දරුණු යුද්ධයේදි සටන් කරයි

 

ගැහැනියක් සිය ශක්තිය පෙන්වන්න පෙන්වන්න, ඈව යටපත් කිරීමේ උත්සාහයන් වැඩි වැඩියෙන් ක්‍රියාත්මක වෙනව. ඒක තමයි ඇත්ත..
ළඳ බොලඳ ගැහැනුන් අගයන සමාජයක්, පිරිමින්ට අභියෝග කරන, එඩිතරව අදහස් ප්‍රකාශ කරන, නිර්භීත, තමන්ගෙම කියල මතයක් තියෙන ගැහැනුන්ට තැනක් දෙන්නේ ම නෑ.
ඇත්තම කියනවා නම් ගතානුගතික සමාජය බයයි ඒ වගේ ගෑනුන්ට. ඒ සමාජය විසින් ගෙනෙන යෝජනාව තමයි ගැහැනු සුවච කීකරුව, යටහත් පහත්ව, සමාජයෙන් හදල දෙන සම්මත රාමුව ඇතුළේ සිටිය යුතුයි කියන එක.
ඉතින් හැමදාම සිද්ධ වෙන්නේ එකම දෙයක්. ඒ රාමුවෙන් පිටපනින ගැහැනියකගේ ශක්තිය ඉස්මතු වෙන්න වෙන්න ඇයට එල්ල වෙන බාධාවල් එන්න එන්න ම වැඩිවීම. වැඩි⁣ වැඩියෙන් ඇය ප්‍රහාරවලට ලක් වීම.
ශක්තිමත් ගැහැනුන්ට විතරක් නොවෙයි, එක අතකට මේ ඉරණම ශක්තිමත් පිරිමින්ටත් පොදුයි. තමන් සතු ශක්තිය වැඩියෙන් පෙන්වන කෙනාටයි පහර දීම් වැඩියෙන් සිද්ධ වෙන්නේ. ඒක තමයි මේ ලෝකයේ ස්වභාවය. ඒත් බොහෝ අවස්ථාවල පිරිමින්ට වඩා ගැහැනුන්ට එල්ල වෙන පීඩනය අතිශයින් වැඩියි. හේතුව තමයි පිරිම්න්ට සාපේක්ෂව ගැහැනුන් සිටිය යුත්තේ පහළ තැනකින් කියල ගතානුගතික සම්මතයක් හැදිල තිබීම. ලෝකය කොච්චර දියුණු වුණත්, තමන්ගේ ශක්තිය පෙන්වන ගැහැනුන්ට තමන්ගේ තැන රැක ගන්න, තමන්ගේ සිහින මිය යන්න නොදී රැක ගන්න විශාල සටනක් කරන්න සිද්ධ වෙනව. ඒ සටනින් දිනන ගැහැනු වගේම පරදින ගැහැනුත් ඉන්නව.
Mulan චිත්‍රප⁣ටයේ එන තරුණිය පරාජයට බිලි වෙන්න සූදානම් නෑ. ඈ තමන්ගේ ශක්තිය යටපත් වෙන්න දෙන්නේ නෑ. විශාල අරගලයකින් පස්සේ ඈ ලෝකය ඉදිරියේ ඔප්පු කර පෙන්වනවා ගැහැනුන් කියන්නේ පිරිමින්ගේ අාශාවල් ඉටු කරන්න පමණක් ඉන්න ලද බොළඳ ආත්ම නොවන වග. ගැහැනු පිරිමින් තරම් ම හෝ ඊටත් වඩා බලවත් බව.
Mulan කියන්නේ ස්‍ත්‍රීත්වයේ ශක්තිය පිළිබඳ සංකේතයක්. මට අනුව නම් චිත්‍රපටයේදී මුලාන් මුහුණ දෙන යුද්ධයත් සංකේතාත්මකයි. බෝනික්කෝ වගේ ලද බොලඳව, ගතානුගතික රාමු ඇතුළේ ජීවත් වෙන්න අකමැති ගැහැනු හැමෝටම තමන්ගේ ජීවිත කාලෙ ඇතුළත එක්තරා තීරණාත්මක මොහොතකදී ඒ යුද්ධයට මුහුණ දෙන්න සිද්ධ වෙනව.. මුලාන්ට වගේ ම ඒ හැම දෙනාටමත් බිහිසුණු යුද පෙරමුණුවල තනිව සටන් කරන්න වෙනව. ඔව්. !! තට්ට තනියම සටන් කරන්න වෙනව.!! කඩු කිණිසි ඊතල වෙනුවට එල්ල වෙන්නේ ඒ තරම්ම දරුණු තුවාල ඇති කළ හැකි වචන. විවේචන. අපවාද.!
හැබෑ ජීවිතයෙදි ඩිස්නි චිත්‍රපටයක තරම් දේවල් සුන්දරව ඉවර වෙන්නේ නැති වෙන්න පුළුවන්. ඒත් එදත් අදත් හෙටත් මුලාන් වගේ ගැහැනු ඒ දරුණු යුද්ධයේදි තමන්ගේ ශක්තිය පෙන්වන්න සටන් කරයි.
ඔවුන් යටපත් වෙයි.! ඒත් තාවකාලිකව.!
නමුත් ඔවුන් යළි යළිත් නැගී සිටියි.!
Mulan, අපේ ආත්මයන් ඇතුළත ඒ ශක්තිය අවදි කරන චිත්‍රපටයක්.!
-කත්‍යානා අමරසිංහ (fb)

Leave A Reply

Your email address will not be published.

3 × five =