ආනවිලු‍න්දාව විනාශයට ඇමැති සොහොයුරා හසුවෙයි !

ආනවිලු‍න්දාව රැම්සා අභය භූමියට අයත් ප්‍රදේශයක් අනවසරයෙන් සහ අනීතික ලෙස එළි කර ඇත්තේ රාජ්‍ය ඇමැති සනත් නිශාන්තගේ සොහොයුරා වන ආරච්චිකට්ටුව ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති, ජගත් සමන්තගේ ඉල්ලීම මත බව අදාළ පරිසර විනාශය සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පත් කළ විශේෂඥ කමිටු වාර්තාව අවධාරණය කරයි.

එම කමිටුවේ වාර්තාව පසුගිය 09දා විෂයභාර ඇමැතිවරයා වෙත ලබා දුන් අතර, ඉන් පසු පාර්ලිමේන්තුවේ සභාගත කෙරිණි. පොලිසියට ලබා දුන් සාක්ෂිවලට අනුව මෙම ඉස්සන් කොටුව ප්‍රතිසංස්කරණය කිරීමේ නිරත වූ ඩෝසර් හිමිකරු පෝරුවතොටගේ සුජිත් නිශාන්ත ප්‍රනාන්දු නමැති අය ලෙසත්, ඉස්සන් කොටුව ශුද්ධ කිරීමේ කොන්ත්‍රාත්තුව ලබා දුන් පුද්ගලයා වර්ණකුලසූරිය නිශාන්ත ප්‍රනාන්දු යන අය ලෙසත් කමිටුව විසින් හඳුනාගෙන තිබේ.

ආරච්චිකට්ටටුව ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති ජගත් සමන්තගේ ඉල්ලීම මත මෙම ශුද්ධ කිරීම සිදු කර ඇති අතර, ඔහු විසින් මීට පෙර අවස්ථා කිහිපයක දී ද, අදාළ ප්‍රදේශය ඉස්සන් වගා ව්‍යාපෘති සඳහා මෙලෙස භාවිත කර තිබෙන බව ද මෙම වාර්තාවේ සඳහන් ය. ජගත් සමන්ත යනු රාජ්‍ය ඇමැති සනත් නිශාන්තගේ සොහොයුරා ය.

රාජ්‍ය ඇමැති සනත් නිශාන්ත සමඟ පසුගිය 06දා ‘ලංකා’ පුවත් පත මේ සම්බන්ධයෙන් කළ සම්මුඛ සාකච්ඡාවේ දී ඔහු සඳහන් කර තිබුණේ, තමන් හෝ තමන්ගේ සමීපතමයකු මෙම විනාශයට සම්බන්ධ නැති බවකි.

සිසිර යාපා

Leave A Reply

Your email address will not be published.

two × three =