සිංහබාහු වෙනුවට අන්දරේ !

ජනාධිපතිවරයා ඉද්ද ගැසුවාක් මෙන් නැගිට්ටේය. ලේකම්වරයා බලාපොරොත්තු වුණේ හිනාවකි. එය කොක්හඬලා සිනාසීමක සිට කට කොණින් හෙළන කපටි සිනාවක් දක්වා වූ පරාසයක විහිදී යනු ඇතැයි ඔහු බලා සිටියේය.
”දැන් මොකක්ද හරියටම වෙලා තියෙන්නෙ…?”
”පේ‍්‍රමලාල්ට පාර්ලිමේන්තු යන්න, දිවුරුම් දෙන්න, ඡන්දෙ දෙන්න ඔය ඔක්කොටම අභියාචනාධිකරණෙන් අවසර දීලා සර්…”
”හරි. දැන් පේ‍්‍රමලාල් මොකද කියන්නෙ…?”
”පේ‍්‍රමලාල් මොකද කියන්නෙ කියන එක අහන්නත් දෙයක්ද සර්…”
”ඇයි…?”
”මිනීමැරුමකට මරණ දඬුවම නියම වුණු මනුස්සයෙකුට පාර්ලිමේන්තු නෙමෙයි, අර බන්ධනාගාරෙ තාප්පෙන් එළියට එනවා කියන එකත් හීනයක්නෙ.”
”දැන් ඔය තීන්දුවෙ තියෙන්නෙ කොහොම ද….?”
”සර්… මට තේරෙන්නෙ නෑ සර්… මෙච්චර සතුටුවෙන්න  ඕනෙ වෙලාවක…?”
”හලෝ… ඒ තීන්දුවෙ කොහෙ හරි තියෙනව ද, පේ‍්‍රමලාල් අනිවාර්යයෙන්ම පාර්ලිමේන්තු යා යුතුයි කියලා…?”
”නෑ සර්. එහෙම එකක් නම් නෑ.”
”හරි. එහෙනං තමුසෙ යනවකො.”
ජනාධිපති ලේකම්වරයාට යන්නට හිත දුන්නේ නැත.
”සර්… මොකක් හරි ප‍්‍රශ්නයක් ද?”
ජනාධිපතිවරයා ලේකම්වරයා දෙස බැලී ය.
”මට පේ‍්‍රමලාල්ට මරණ දඬුවම ලැබුණු සිද්ධිය ගැන හරියට
දැනගන්න  ඕනෙ.”
”විනාඩියක් දෙන්න සර්…”
ලේකම්වරයා නැගිට කාමරයෙන් පිට විය. ගත වූයේ විනාඩි කිහිපයකි. ඔහු ආවේ ලිපිගොනුවක් ද රැගෙන ය.
”මෙන්න සර්…”
ජනාධිපතිවරයා පුටුවකට ඇල විය.

ශාන්ත දොඩංගොඩ ඝාතනය

එය මහින්ද රාජපක්ෂ මහතා තුන්වැනි වරටත් ජනපති වන්නට, ඔහුගේම පක්ෂයේ මහ ලේකම් මෛත‍්‍රීපාල සිරිසේන සමග ජනාධිපතිවරණයට තරඟ කළ ජනාධිපතිවරණ සමයයි.
2015 ජනවාරි 05 දින පස්වරුවේ තිබුණු මෛතී‍්‍රපාල සිරිසේනගේ රැලිය සඳහා ජනවාරි 04දා මධ්‍යම රාත‍්‍රියේ ශාන්ත දොඩංගොඩ ඇතුළු පිරිස කහවත්ත නගරයේ සැරසිලි කරමින් සිටියෝ ය. 2015 ජනවාරි 05 දිනට එළිය වැටෙන, පාන්දර එකට පමණ ශාන්ත දොඩංගොඩ ඇතුළු පිරිස සැරසිලි කරන භූමියට කඩාපැන්න නිවිතිගල පේ‍්‍රමලාල් ජයසේකර ඇතුළු පිරිස වෙඩි තබන්නට වූහ. එම වෙඩි තැබීමෙන් ශාන්ත දොඩංගොඩ සමඟ තව දෙදෙනකුට තුවාල සිදු විය. ඔවුන් රත්නපුර ශික්ෂණ රෝහලට ඇතුළු කළ අතර, ශාන්ත දොඩංගොඩගේ තත්ත්වය බරපතළ විය. මැතිවරණ දිනයට ඔන්න මෙන්න තියා ශාන්ත දොඩංගොඩ ජීවිතය හැර ගිය බව දැනගන්නට ලැබිණි. මරණය වාර්තා වීමෙන් පසු රෝහල වටා ආරක්ෂාව තර කර තිබිණි. මාධ්‍යයට ඇතුළට යන්නට දුන්නේ නැත.
එකදිගටම කතාව කියවාගෙන ගිය ජනාධිපතිවරයා, ඔළුව උස්සා ලේකම්වරයා දෙස බැලූ‍වේ ය. යළිත් ඇස් පිටුවට හැරිණි. ශාන්ත දොඩංගොඩගේ දියණිය උපුටා දැක්වූ වාර්තාවක් එහි විය.
”අපිට කොළඹ ගෙනියන්න දුන්නේ නෑ, හෙලවෙන්නවත් හොඳ නෑ කියලා තමයි කිව්වෙ. ඒත් අපිට පස්සේ හිතුණා, තාත්තා නැතිවෙලා. මැෂින් ගලවන්නෙ නැත්තෙ ඒකෙන් ඡන්දයට බලපෑමක් වෙයි කියලා වෙන්න ඇති කියලා.”
”කෝ මේකෙ තීන්දුව…?”
”සම්පූර්ණ තීන්දුවම  ඕනෙ ද සර්… පත්තර වාර්තාවක් නම් තියෙනවා.”

තීන්දුව

රත්නපුර මහාධිකරණ විනිසුරු රොහාන් ජයසූරිය මහතා පේ‍්‍රමලාල් ජයසේකර නොහොත් චොකා මල්ලි ඇතුළු තිදෙනෙකුට මරණ දඬුවම පනවමින් ප‍්‍රකාශ කළේ මෙම තිදෙනාට විරුද්ධව එල්ල වූ මිනීමැරීමේ චෝදනාව ඇතුළු අනෙකුත් චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු වන බව ය. මේ අනුව සබරගමුව පළාත් සභාවේ හිටපු මන්ත‍්‍රී නිලන්ත ජයකොඩි, කහවත්ත ප‍්‍රාදේශීය සභාවේ හිටපු සභාපති වජිර දර්ශ ද සිල්වා යන අයට ද මරණ දඬුවම නියම කෙරිණි.
මෙම නඩුවේදී විත්තිකරුවන්ට විරුද්ධව පැමිණිල්ල විසින් සාක්ෂි 59ක් සහ නඩු භාණ්ඩ 16ක් ඉදිරිපත් කර තිබිණි. ඒ, මෙම වෙඩි තැබීම සිදු වූ ස්ථානයේ ක‍්‍රියාත්මක වූ සීසීටීවී දර්ශන සහ දුරකථන දත්ත වාර්තා ද සමඟ ය. මෙම සියලූ‍ සාක්ෂිවලින් තහවුරු වී ඇත්තේ, මෙම පුද්ගලයන් තිදෙනා ශාන්ත දොඩංගොඩ ඝාතනය කිරීමට ද, කරුණාදාස වීරසිංහ, මොහොමඞ් ඉල්ෆාම් යන අයට මරණීය තුවාල සිදු කිරීමට ද සම්බන්ධ බව සාධාරණ සැකයකින් තොරව ඔප්පු වන බව ය.
ජනාධිපතිවරයාගේ මුහුණ තවත් බැ?රුම් වනු ලේකම්වරයා බලා සිටියේ ය. ”ඊළඟට මොනවා ඉල්ලයි ද” ඔහුගේ හිතේ තිබුණේ ඒක ය.
”සරත් ෆොන්සේකගෙ වෙලාවෙ මොකක් ද හරියටම වුණේ…?”
”පොඞ්ඩක් ඉන්න සර්…”
ජනාධිපතිවරයාගේ අතට තවත් මාධ්‍ය වාර්තාවක් ලැබිණි. ජනාධිපතිවරයා මේ මොන අටමගලයක් කරන්නේ ද යන්න ලේකම්වරයාට තේරුණේ නැත.

ෆොන්සේකාගේ මන්ත‍්‍රී ධුරය

මරණ දඬුවම නියම වූ පේ‍්‍රමලාල් ජයසේකර මහතාට පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයකු ලෙස දිවුරුම් දීමට  අවස්ථාව හිමි වුව ද, මීට දස වසරකට පෙර අවුරුදු තුනක සිර දඬුවමක් නියම වූ සරත් ෆොන්සේකා මහතාට පාර්ලිමේන්තුවට පැමිණීමට නොහැකි වූවා පමණක් නොව ඔහුගේ මන්ත‍්‍රී ධුරය ද අහෝසි විය.
එදා කතානායකවරයා ලෙස සිටි චමල් රාජපක්ෂ මහතා එම අවස්ථාවේ දී පැවසුවේ, සරත් ෆොන්සේකා මහතාට පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයකු ලෙස කටයුතු කළ නොහැකි බවයි. එවකට සිටි පාර්ලිමේන්තු වැඩ බලන මහ ලේකම්වරයා සරත් ෆොන්සේකා මහතාට පාර්ලිමේන්තු මන්ත‍්‍රී ධුරය දැරිය නොහැකි බවට මැතිවරණ කොමිසමට ලිපියක් ම`ගින් දැනුම් දුන්නේ ය.
2009දී යුද හමුදා සේවයෙන් විශ‍්‍රාම ගත් හිටපු යුද හමුදාපති මෙන්ම ආරක්ෂක මාණ්ඩලික ප‍්‍රධානී ජනරාල් සරත් ෆොන්සේකා මහතා 2010 ජනාධිපතිවරණයට විපක්ෂයේ පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත් විය.
ජනාධිපතිවරණ පරාජයෙන් පසු ඔහුට එරෙහිව යුද අධිකරණ දෙකක චෝදනා විභාග කෙරිණි. ඉන් එක් යුද අධිකරණ තීන්දුවක් මඟින් මාස 30ක සිරදඬුවමක් ඔහුට නියම කෙරිණි. අනෙක් යුද අධිකරණ තීන්දුව මඟින් හිටපු හමුදාපතිවරයාට හිමිව තිබූ සියලූ‍ තනතුරු, පදක්කම් සහ වරප‍්‍රසාද හිමිකම් අහිමි කෙරිණි. ‘සුදු කොඩි සිද්ධිය’ සහ ‘හයිකොප් ගනුදෙනුව’ සම්බන්ධයෙන් ඒ මහතාට එරෙහිව නඩු දෙකක් මහාධිකරණයේ පවරා තිබිණි.
සුදු කොඩි නඩුවේ තීන්දුව ප‍්‍රකාශයට පත් කරමින් ඔහු වරදකරු බවට තීරණය කෙරිණි. ඔහුට වසර තුනක සිරදඬුවමක් නියම වූ අතර සිරදඬුවම් ලැබීම නිසා සරත් ෆොන්සේකා මහතාට මාස තුනකට අධික කාලයක් පාර්ලිමේන්තු සභාවාරවලට සහභාගී වීමට අවස්ථාව නොලැබිණි. ඉන් පසු ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 89 (ඈ) සහ 91 වගන්තිය මත සරත් ෆොන්සේකා⁣ගේ මන්ත‍්‍රී අසුන අහිමි කරන බවට එවකට පාර්ලිමේන්තු මහලේකම්වරයා විසින් ඔක්තෝබර් 07 වැනිදා මැතිවරණ කොමසාරිස්වරයාට දැන්වීය.
”කෝ… ඔය ව්‍යවස්ථාවෙ මේ කියන වගන්ති දෙක පෙරළලා දෙන්න.”
ලේකම්වරයා සිටියේ පෙර සූදානමින් ය. ඉල්ලූ ගමන් පොත අතේ ය.

ව්‍යවස්ථාව

89 ව්‍යවස්ථාව –  89 (ඈ) යම්කිසි තැනැත්තෙක් අවුරුදු දෙකකට නො අඩු කාලයක් බන්ධනාගාරගත කිරීමෙන් දඬුවම් කළ හැකි වරදකට කවර වූ හෝ අධිකරණයක් විසින් වරදකරු කරනු ලැබීමෙන් පසුව නියම කරන ලද හය මාසයකට නො අඩු කාලයකට කවර වූ හෝ ආකාරයක බන්ධනාගාරගත කිරීමේ දඬුවමක් විඳිමින් සිටී නම් නැතහොත් ගත වූ සත් අවුරුදු කාලය තුළ ඒ දඬුවම සම්පූර්ණයෙන් ම විඳ සිටියේ නම් නැතහොත් මරණ දණ්ඩනයට යටත්ව සිටී නම් නැතහොත් එවැනි දණ්ඩන නියමයක් ක‍්‍රියාවේ යෙදවීම වෙනුවට හය මාසයකට නොඅඩු කාලයකට බන්ධනාගාරගත
කිරීමේ දඬුවමක් විඳිමින් සිටී නම් නැතහොත් ගත වූ සත් අවුරුදු කාලය තුළ ඒ දඬුවම සම්පූර්ණයෙන් විඳ සිටියේ නම්, ඒ තැනැත්තා ජනාධිපතිවරයා තෝරා පත් කිරීමේ ඡන්ද විමසීමක දී හෝ පාර්ලිමේන්තු මන්ත‍‍්‍රීවරයන් තෝරා පත් කිරීමේ ඡන්ද හිමියකු වීමේ අයිතිවාසිකම. ඡන්ද බලය අහිමි වීම, මැතිවරණයක දී හෝ ඡන්ද හිමියකු වීමට හෝ ජනමත විචාරණයක දී ඡන්දය දීමට හෝ සුදුස්සෙක් නොවන්නේ ය:
91 ව්‍යවස්ථාව –  91.(1) (අ) යම්කිසි තැනැත්තකු 89 වැනි ව්‍යවස්ථාවේ දක්වා ඇති කවර වූ හෝ නුසුදුසුකමකට යටත් වේ නම්, නැතහොත් එවැනි නුසුදුසුකමකට භාජනය වුවහොත්, ඒ තැනැත්තා පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයකු වශයෙන් තෝරා ගැනීමට සහ පාර්ලිමේන්තුවේ දී ඡන්දය දීමට හෝ සුදුස්සෙක් නොවන්නේ ය.
”හරි… දැන් මේකෙ මෙහෙම තිබුණට පේ‍්‍රමලාල්ට ජනාධිපති සමාව දෙන්න පුළුවන් නෙ. එහෙම වුණොත් මන්ත‍්‍රීකම ගැන කාටවත් මොකුත් කියන්න බෑ නේද…?”
එවර නම් ජනාධිපතිවරයා, තමන්ගෙන් පිළිතුරක් බලාපොරොත්තු වන බව ලේකම්වරයාට වැටහිණි.
‘ෆොන්සේකාගෙ වැඬේ සර්…‘

ජනාධිපති සමාව

2012 වසරේ දී සරත් ෆොන්සේකා මහතාට ජනාධිපති සමාව ලැබුණු අතර, 2015 ජනවාරි මාසයේ දී හිටපු ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් ෆොන්සේකා මහතාට එරෙහිව නඟා තිබූ සියලූ‍ චෝදනාවලින් නිදොස් කොට නිදහස් කළේ ය. ඉන් පසු තමන්ට අහිමි වූ මන්ත‍්‍රී ධුරය යළි ලබාදෙන ලෙස ෆොන්සේකා මහතා අභියාචනාධිකරණයෙන් ඉල්ලා සිටි⁣යේ ය. නමුත්, එම ඉල්ලීම අභියාචනාධිකරණයෙන් ප‍්‍රතික්ෂේප කෙරිණි. ඒ අනුව මන්ත‍්‍රී ධුරයෙහි දිගටම කටයුතු කිරීමේ හැකියාව ඔහු වෙනුවට පත් කළ ජයන්ත කැටගොඩ මහතාට ලැබිණි.
”ව්‍යවස්ථාව අනුව 89 (ඈ) සහ 91 (අ) යටතේ නුසුදුස්සකු වූ කවර වූ හෝ තැනැත්තකුට කොන්දේසි රහිත සමාවක් දෙන ලද්දේ නම්, ඒ සමාව දුන් දිනයේ සිට ඒ නුසුදුසුකම නැති වී යයි.”
මේ මත පදනම්ව පූර්ණ ජනාධිපති සමාව ලැබූ තමන්ට පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයකු ලෙස කටයුතු කිරීමට අවස්ථාව දෙන ලෙස ෆොන්සේකා මහතා ඉල්ලා සිටි නමුත්, අභියාචනාධිකරණය මෙහි දී ෆොන්සේකා මහතාගේ ඉල්ලීම ප‍්‍රතික්ෂේප කළේ ය.
”දැන් ඔය ෆොන්සේකගේ පාර්ලිමේන්තු මන්ත‍්‍රීකම නැති වුණු වෙලාවේ පාර්ලිමේන්තුවෙ මොකද වුණේ…? විපක්ෂයෙ කට්ටිය
කෑ ගහන්න ඇති නෙ.”
”සර්… ඔක්කොම බලන්නෙ තමන්ගෙ කුට්ටිය ගැන විතරයි. අනුන්ට මොනව වුණත් අදාළ නෑ.”
”නෑ… නෑ… පොඞ්ඩක් හොයන්න…” ලේකම්වරයා ඒ අනුව කඩිමුඩියේ පාර්ලිමේන්තුවේ හැන්සාඞ් දෙපාර්තමේන්තුව සමඟ සම්බන්ධ වී සියලූ‍ තොරතුරු ගෙන්වා ගත්තේය.

එදවස පාර්ලිමේන්තුව

රනිල් වික‍්‍රමසිංහ මහතා – ගරු නියෝජ්‍ය කථානායකතුමනි, මා ඔබතුමාට මේ කාරණය කියන්න කැමතියි.
මේක වරප‍්‍රසාද ප‍්‍රශ්නයක්. මේ Debate එක ගැන නොවෙයි. මේ ගරු සභාවේ මන්ත‍්‍රීවරයකු වන සරත් ෆොන්සේකා මන්ත‍්‍රීතුමාගේ මන්ත‍්‍රීකම අහෝසි කරනවා කියා අද වැඩ බලන මහ ලේකම්තුමා ඡන්ද කොමසාරිස්ට ලිපියක් යවලා තිබෙනවා. ඒක වැරදියි. මොකද, අපි තීරණය කළා මේ ගැන.
නියෝජ්‍ය කථානායක – ව්‍යවස්ථාව අනුව වැඩ බලන මහ ලේකම්තුමා කටයුතු කරලා තිබෙන්නේ. (බාධා කිරීම්)
රනිල් වික‍්‍රමසිංහ මහතා – 2010 සැප්තැම්බර් 24 වන දා හැන්සාඞ් වාර්තාවේ 743 වන තීරුවේ- (බාධා කිරීම්) මේ ගැන ප‍්‍රශ්න කළාම කථානායකතුමා කිව්වා, ”තමුන්නාන්සේලා කියපු කරුණු හැම එකක් ගැනම අධ්‍යයනය කරලා  ඕනෑ තීරණයක් ගන්න.” ඊට පස්සේ විජිත හේරත් මන්තීතුමා කියලා තිබෙනවා, ”යුද හමුදා පනතේ 144 වන වගන්තිය අනුව ඔබතුමා ඊයේ අධ්‍යයනය කරනවා කියලා කිව්වා.” කියලා. (බාධා කිරීම්.) නැවතත් කතානායකතුමා කිව්වා, ”හොඳයි මම ඒ ගැන බලන්නම්.” කියලා. ඒ නිසා ගරු නියෝජ්‍ය කථානායකතුමනි, කතානායකතුමා මෙම සභාවට එන තෙක් එම තීරණය..
නියෝජ්‍ය කථානායක – ව්‍යවස්ථාව අනුව වැඩ බලන මහ ලේකම්තුමා ක‍්‍රියාත්මක වෙලා තිබෙනවා. පිළිතුර එපමණයි.

අනුර බණ්ඩාරනායක තීන්දුව

”අර… අනුර බණ්ඩාරනායක කතානායක වෙලා ඉන්න වෙලාවෙ අධිකරණයෙන් කියපු එකක් ප‍්‍රතික්ෂේප කරපු සිද්ධිය මොකක් ද?”
”සර්… ඒක මෙහෙම නෙ… මේ බලන්නකො මේක…”
අනුර බණ්ඩාරනායක මහතා කතානායක ධුරය දැරූ සමයේ ශී‍්‍ර ලංකා ඉතිහාසයේ ආන්දෝලනාත්මක අගවිනිසුරුවරයකු ලෙස ප‍්‍රකට සරත් නන්ද සිල්වාට එරෙහිව පාර්ලිමේන්තුවට දෝෂාභියෝගයක් ඉදිරිපත් විය. එය භාර නොගත යුතු බවට ශ්‍රේෂ්ඨාධිකරණය කතානායකවරයාට තහනම් නියෝගයක් නිකුත් කළේ ය. කතානායකවරයා එය ප‍්‍රතික්ෂේප කළ අතර, එය ඉතා නිවැරදි හා එඩිතර තීරණයක් ලෙස විවිධ ක්ෂේත‍්‍රවල අගැයුමට ලක් විය.
”ඒ වෙලාවෙ කවුරුත් ඒකට විරුද්ධ වෙලා නැද්ද?”
”නෑ සර්… නීතිඥ මහත්තුරු නම් කියන්නෙ ඒක දෝෂාභියෝගයක් හින්දා පාර්ලිමේන්තුවට ඒ තීරණේ ගන්න හැකියාව තිබුණා. මොකද? දෝෂාභියෝග පිළිබඳ පාර්ලිමේන්තුවට බලය තියෙන හින්දා කියලා. මෙතන තත්ත්වෙ වෙනස් නෙ.”
”දැන් ඔය අභියාචනාධිකරණෙ මෙතන මොකක් ද කරලා තියෙන්නෙ… ඒක හරිද, වැරදිද…?”
”සර්… මේක බලන්න… මේක මේ නීතිඥ මහත්තයෙක්ම ලියපු, නීතිඥ මහත්තුරු කතා වෙන එකක්.”

අභියාචනාධිකරණ තීන්දුව

බැලූබැල්මට පේ‍්‍රමලාල් ජයසේකරගේ මන්ත‍්‍රී ධුරය සම්බන්ධයෙන් අභියාචනාධිකරණය ලබා දුන් අතුරු නියෝගය නීතියට අනුව නිවැරදි ය. මහාධිකරණය මඟින් මරණ දණ්ඩනය නියම කළ වරදකරුවකු හෝ අභියාචනාධිකරණය හමුවේ අභියාචනයක් කර ඇති විටෙක, එකී අභියාචනය විභාග කොට අවසන් වන තුරු ඔහුට හිමි මරණ දණ්ඩනය ක‍්‍රියාත්මක කළ නොහැක.
මන්ද යත්, අභියාචන පෙත්සම විභාගයට ගැනීමට අභියාචනාධිකරණය තීන්දු කරනවාත් සමඟම අදාළ පුද්ගලයාට නිර්දෝෂීභාවයේ පූර්ව නිගමනය හිමි වන නිසා ය. නමුත්, ආයතන සංග‍්‍රහය, පොලිස් ආඥා පනත, හමුදා පනත වැනි පනත්වල දී තත්ත්වය වෙනස් ය. මීට අදාළව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 89 වැනි වගන්තිය වරදකරුවකුට මෙන්ම අභියාචකයකුට ද එක සේ අදාළ වන්නේ ද යන්න තීරණය කිරීමේ බලය ඇත්තේ ශ්‍රේෂ්ඨාධිකරණයට ය. මන්ද, ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව අර්ථනිරූපණය කිරීමේ බලය ඇත්තේ ද එයටම වන බැවිනි.
ජනාධිපතිවරයා ඉද්ද ගැසුවාක් මෙන් නැගිට්ටේය.
”දැන් තියෙන්නෙ මගෙ වාරෙ එහෙනං… මිනිස්සු අනෙක් ඔක්කොම පැත්තකට දාලා මාව විශ්වාස කෙරුවේ ‘සිංහබාහු’ නාට්‍යය බලන්න ටිකට් අරං, ‘අන්දරේ’ බලන්න නෙමෙයි නෙ. ඔන්න බලන්න ලේකම්තුමා, මේ සිංහබාහුගෙ වැඩ… ඔය ෆේස්බුක් එකෙත් එහෙම එකක් දාලා තිබුණෙ…”
”ජය වේවා ! ජය වේවා ! එහෙනං එතුමා අපේ විශ්වාසෙ රැක්කා.”

හීනෙන් ඇහැරීම

”මේ  ඕයි… දවල් තිස්සෙ  ඕවා ගැන කියවලා, කියවලා ?ටවත් හරියට නිදාගන්නවකො. හීන බල බල මෙතන කෑ ගහන්නෙ. හෙට බිල් ටික බැන්දෙ නැත්නම් වතුරයි, ලයිටුයි දෙකම කපයි හරිද…?”
-ශාලික විමලසේන

Leave A Reply

Your email address will not be published.

18 − five =