අලු‍ත් රස තැන් සොයා පියඹන ‘සමන්සිරි ගිය ජෙට් එක’

ටිම්රාන් කීර්තිගේ නව කවි පොත ගැන කෙටි සටහනක්

හේ ලියන කවි ‘තරුණ’ ය. එනයින් ‘තරුණ’ කවියෙකි. කවි ලියා සම්මාන ද ලැබූවෙකි. තවමත් තව තවත් කවි ලියන්නෙකි. දෙදහස් විස්සට ඔහු ලියූ කවි අපට ලැබෙන්නෙ ජෙට් එකකිනි. ‘ඒ ජෙට්ටෙකේ ගියේ සමන්සිරිමයි’ ඒ පොතේ නම එහෙමයි. රිදුම් හංගා ගලන ගංගා දෙස බලා තමා මෙ කවි ලියූ බව ඔහු කියයි. ටිම්රාන් කීර්ති, මේ ඔහුගේ තෙවන කවි පොතයි.

කවි හෝ සඳැස් හෝ කුමන ආකෘතියක හෝ වේවා අංක තිස් එකක් යටතේ ලියවුණු එකිනෙකට වෙනස් තේමාවන් තිස් එකකින් ‘ඒ ජෙට් එක’ සමන්විතය. කෙසේ වෙතත් මෙ කවි ගොන්නේ එන බොහෝ යෙදුම් ප්‍රධාන තේමාවෙන් වෙන්ව ගෙන වෙනම ම රසවිඳිය හැකි ඒවා මෙන් ම තේමාත්මක කියවීමෙන් ඔබ්බට ගෙන ගොස් වෙනම ම තැන්වල ස්ථානගත කර හැකි යැයි හැඟෙයි.

“ ගමන් අතර ගමන්

තමයි නියම ගමන් ”‍

‘හැංගුණ හිනා මුහුණ’ නමින්, ගෙවුණු වසංගතය සම්බන්ධයෙන් ලියවුණු තරමක් දිග පෙළකි, එය. එහෙත් එකී අනුභූතියෙන් මිදී යට වචන ටික වෙනම ගත් විට ‘ඒ ගමන්’ මොන මොනවා විය හැකිදැයි සිතේ.

“මම බැඳපු මිනිහෙක්”‍

දඹු වැටිය කඩන‘තර

පැහැදිලිව කිව්වා.,

“‍බුදු වුණෙත් බැඳපු මිනිහෙක්! ”‍

එයා ආයෙත් රැව්වා……”‍

සැහැල්ලු‍වෙන් වෙන්කර ගත් වදන් පෙළකි ඒ.

තවද සානුකම්පික අනුභූතීන් යොදා ගන්නා කවියා ඒ ඒ කාව්‍යාංගවල දිග පළල හොඳින් මැන ඉතා සංක්ෂිප්තව බස හසුරුවයි. ‘ඒ ජෙට්ටෙකේ ගියෙ සමන්සිරිමයි’, ‘රත්තං අම්මෙක් එයා’ වැනි කවි මේ ගොන්නෙහි ලා ගැනිය හැකියි.

මීට අමතරව කවියා කොතෙක් කලෙක සිට කවි ලීවද ඔහු දරන දෘෂ්ටිවාදී අඛණ්ඩතාව ඇගයිය යුතු කාරණයකි. පෙර ඔහු ලියූ ‘පෙම්බරියගෙන් වෙන්වුණු ලූලෙක් හැරෙයි ඇළකට’ සංග්‍රහයෙහි එන ‘විහාර මන්දිරයේදී ’ හි දිගුවක් මෙවර පොතෙහි මෙසේ ලියවී ඇතැයි කියවන්නෙකුට ගළපා ගත හැකිය.

විහාර මන්දිරයේදී

“සුගන්දිකා

දවසකුත් ඔයාට කිව්වනෙ මං

ඔහොම තදේට දණ ගහං වඳින්ඩෙපා කියල

‘සුද’ කියන්නෙ භයානක පාටක්!

හුඟක් පිළිම වහන්සේලාගේ දෑස් අඩවන්.”

ඒ, ඒ පොතෙන්. මේ, මේ පොතෙන්.

“මොක්පුරය ඉක්ම වූ

වල් ගෑනු සිත් තොසින

වෙසඟනුනි නික්මියව් අකුළගන ගම් දොරින

විසාකා සමිතියෙන් රතු නිවේදන ලැබිණ

වෙසඟනුන් කොකුමඟර හළාගිය රසපොළොව

විසාකාවියන්ගේ දහම් මැදුරකි පසුව

හැන්දෑවෙ දෑඟු‍ලින් ඝන්ටාර හඬවමින

හංගලා ඇති දෙයක් වගෙ හොයනවා නිවන.”‍

සුදු පිරුවට යෙදූ මජර ආගමික සංස්ථාව, ඒ තුළ වන  සමාජ දේශපාලනය මෙන් ම එයට ඉතා පහසුවෙන් හසුවන ස්ත්‍රී ප්‍රජාව, ස්ත්‍රී ලෙස ඔවුනොවුන් අතරේ වන ආන්තික බෙදීම් සියල්ල තේරෙන බාසාවෙන් මෙහි නිරූපණය කර ඇත.

ඒ වගේම මේ ලිවීම සඳහා ටිම්රාන් යොදාගෙන ඇති නව්‍ය යෙදුම් ගැනද වචනයක් කිව යුතුය.

‘මැජික් හාවෙක් ඇවිත් ගෙදරට – කැරට් අලයක් කවල නංගිට’. ඒවා, අප්පිරිය නොවන අසිරිමත් වචනය. මේ පදත් බලන්න.

සිටු මැදුරකට පෑහුණ

සිටු දියණියකි රූ බර

තවත් ලෙහුවොත් සුරඟන !

ලස්සනම තැන ‘ලෙහුවොත්’ ය. කවියා කියන මේ ස්ත්‍රීය සිටු දියණියකි. ඇය සැබවින්ම රුවින් පිරිලාය. ඇගේ රූ සොබාව තව තවත් වර්ණනා කිරීමට කවියාට අවැසිය. ඒ අවැසිතාවේ හා රූප සොබාවේ පූර්ණත්වය කියන්නට ඔහු යොදා ගන්නා වචනය ‘ලෙහුවොත්’ ය. තවත් ලෙහලා පාදලා බැලු‍වොත් සුරඟනාවක් වගේ යැයි කියයි. තව තැනක බණ අහන්නට එන ආබාධිත තරුණියක ගැන කියයි. ඒ මෙලෙසිනි,

“‍ ……. දනන් පින් සිත්ව නික්මුණි මඟට වැටී

සඳක් රෝද පුටුවක අත් මුදුන් බඳී”‍

ටිම්රාන් කීර්ති කවියා විවිධ අනුභූතීන් උපයුක්ත කොටගෙන මේ කාව්‍යාවලිය නිර්මාණය කර ඇතත් සමහර අනුභූතීන් සාම්ප්‍රදායික බවක් පෙන්වයි. ‘ඒ ඇස් පියවෙන්න ඉස්සර’, ‘සැහැල්ලු‍ව’ එයට උදාහරණය. ‘ස්ත්‍රී’ පිළිබඳ ඔහුගේ ලිවීම තරමක් ආන්තික බව ද පෙනෙයි.

‘මගෙ ළමයින්ගෙ අම්මා’ හි ගැහැනු ගොඩක් ගැන කියයි. ඒත් ඒ පිරිමියා අවසානයේ විවාහ වන්නේ, ලස්සන, සුදු, කඩිසර, එක වෙලාවකදී දඟ, ඥානවන්ත ගැහැනිය සමඟයි. ඒවගේම ‘කොයි කෙල්ලෙක් වුණත් බැන්දහම අම්මෙක් වෙනව තමයි’. කවියා එහෙමත් කියයි.

කෙසේ වෙතත් ටිම්රාන් කීර්තිගේ අලු‍ත් ම කවි ගොන්නෙහි, ‘අලු‍ත් ම’ කවි බොහෝ වෙයි. එහි රස තැන ද රස ම තැන් ද වෙයි. එබැවින් එය කියවන්න■

සසංකා විතානගේ

Leave A Reply

Your email address will not be published.

15 − three =