ඩුටර්ටේ පාලනයෙන් බිලි ගත් මානව හිමිකම් ක්‍රියාකාරිණියකගේ කතාව

මානව හිමිකම් සන්ධානයේ පිලිපීනයේ කරපතාන් හි හිටපු අධ්‍යාපන අධ්‍යක්ෂිකා සාරා අල්වාරෙස් පසුගිය අගෝස්තු 17 වැනි සඳුදා වෙඩි ප්‍රහාර හයක් වැදීමෙන් එම ස්ථානයේ දීම මිය ගොස් ඇත්තේ රාත්‍රී ආහාරය සඳහා ආහාර මිල දී ගෙන නිවස බලා යමින් සිටිය දී ය. සාරා අල්වාරෙස්ගේ මරණය සිදු වන්නේ පිලිපීන ජනාධිපති ඩුටර්ටේ විසින් මතභේදාත්මක ත්‍රස්ත විරෝධී නීතිවලට අත්සන් තබනු ලැබීමෙන් සති කිහිපයකට පසුව ය.

මහ මුහුදට ආදරය කළ සාරා, තම දූපතේ මිනිසුන්ගේ ආදරය වූ සාරා, 11 හැවිරිදි දියණියකට අම්මා වූ සාරා පිලිපීන ජනාධිපති ඩුටර්ටේ විවේචනය කළ නිසා එක් වැසි සහිත සන්ධ්‍යාවක දී ඔවුහු ඇයට හය වතාවක් වෙඩි තබා ඝාතනය කර දැමූහ. එහෙත්, ඇගේ ඝාතනයෙන් ඇවිළුණු ගින්න සදාකාලිකව ඇවිළෙමින් පවතිනු ඇත

සාරා අල්වාරෙස් පිලිපීන මානව හිමිකම් උපදේශිකාවක, අධ්‍යාපනවේදිනියක, නීතිවේදිනියක මෙන්ම ප්‍රමුඛ සමාජ ක්‍රියාකාරිනියක ලෙස කටයුතු කළා ය. පිලිපීනයේ මානව හිමිකම් ආරක්ෂා කිරීම පිළිබඳ ක්‍රියාකාරී මෙහෙයුම පිළිබඳව ඇය ප්‍රසිද්ධියක් ඉසිලූ අතර, මානව හිමිකම් ක්‍රියාකාරිනියක ලෙස ඇයගේ වෘත්තීය ජීවිතය තුළ ඇය බොහෝ විට දේශපාලන මාෆියාවේ ප්‍රධාන ඉලක්කයක් වූ අතර, මානව හිමිකම් උල්ලංඝනය කිරීම්වලට එරෙහි ක්‍රියාකාරී ක්‍රියාමාර්ග හේතුවෙන් ඇයට මරණීය තර්ජන රාශියක් එල්ල වූ බව වාර්තා විය.

සාරා අල්වාරෙස් සැම විටම දැනසිටියේ ඇය තෝරා ගත් මාවතේ කටුක අවසානයකට මුහුණ දිය හැකි බව ය. රටේ වඩාත්ම ප්‍රහාරයට ලක් වූයේ හිමිකම් ආරක්ෂා කරන්නන් වුව ද, ඇගේ සුබවාදී ආකල්පය කිසි විටෙකත් පසුබට නොවී ය. ඒ නිසා මානව හිමිකම් වෙනුවෙන් සටන් කිරීමට හා මානව හිමිකම් ආරක්ෂා කිරීමට පූර්ණකාලීන ක්‍රියාකාරීන් කැඳවනු ලබන භයානක යථාර්ථයට සාරාගේ දෑස් විවර කළේ ය.

සාරා ඇයගේ පාසල් කාලය තුළ ඇය නෙග්‍රෝස් හි, කාඩිස් හි ගොවි ප්‍රජාවන් සමඟ සෘජුව සම්බන්ධ විය හැකි චාරිකා සඳහා සම්බන්ධ වූවා ය. එය ඇයට සාමාන්‍ය ජනතාවට සිදු වන මානව හිමිකම් උල්ලංඝනය වීම් පිළිබඳව සිතන්නට ඉඩහසර විවර කළේ ය. ඒ නිසාම උපාධිය ලබා බලපත්‍රලාභී ගුරුවරියක බවට පත් වීමෙන් පසු ඇය නෙග්‍රෝස් හි විවිධ පුද්ගලයන්ගේ සංවිධාන සඳහා පූර්ණකාලීන කාර්ය මණ්ඩලයක් ලෙස සිය උපදේශන කටයුතු කරගෙන යාමට තීරණය කළා ය. එහෙත්, වැඩි කාලයක් ගත වන්නට මත්තෙන් ඇයට එරෙහි මර්දනය ක්‍රියාත්මක වන්නට විය. ඒ නිසා ඇයට වසර දෙකක පමණ කාලයක් රැඳවුම් භාරයේ සිටින්නට ද සිදු විය. එහෙත්, එය ඇයව නතර කළ හැකි පියවරක් වූයේ නැත.

පිලිපීන ජනාධිපති විවේචනය කරන ඕනෑම අයකුට ‘කොමියුනිස්ට්වාදියෙක්’ යැයි හංවඩුව ගසනු ලැබේ. පිලිපීනයේ කොමියුනිස්ට්වාදියකු යනු ත්‍රස්තවාදියෙකි. එවිට ඇය හෝ ඔහු මරා දැමීම පහසු ය.

ඉන් පසුව පිලිපීනයේ කොමියුනිස්ට් පක්ෂය සහ එහි සන්නද්ධ අංශයට අයත් යැයි කියමින්, අධිකරණ දෙපාර්තමේන්තුව විසින් මැනිලා අධිකරණයකට ඉදිරිපත් කරන ලද සුප්‍රකට ත්‍රස්ත ලැයිස්තුවට පුද්ගලයන් 600කට වැඩි පිරිසක් සමඟ ඇයගේ නම ද ඇතුළත් කරන ලදී. ඇය ත්‍රස්තවාදී ලැයිස්තුවට ඇතුළත් කිරීමට මාස දෙකකට පෙර සාරාගේ නම සහ ඡායාරූපය පොලිස් නිලධාරීන් විසින් නෙග්‍රෝස් හි මොයිසස් පැඩිල්ලා නගර මධ්‍යයේ ඊනියා ‘සී.එන්.එන්. ත්‍රස්තවාදීන්ගෙන් එකෙක්’ ලෙස ඇලවූ පෝස්ටරයක පළ විය. සී.එන්.එන්. යනු පිලිපීනයේ කොමියුනිස්ට් පක්ෂය, නව ජනතා හමුදාව සහ ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ යන හමුදාවේ කෙටි යෙදුම ය. පිලිපීන ජනාධිපති විවේචනය කරන ඕනෑම අයකුට ‘කොමියුනිස්ට්වාදියෙක්’ යැයි හංවඩුව ගසනු ලැබේ. පිලිපීනයේ කොමියුනිස්ට්වාදියකු යනු ත්‍රස්තවාදියෙකි. එවිට ඇය හෝ ඔහු මරා දැමීම පහසු ය. සාරා අල්වාරෙස් මිය යන තුරු ම සිටියේ ඇය කොමියුනිස්ට්වාදිනියක යැයි සටහන් පෝස්ටර්වලට මැදිව ය.

නම් සහ ඡායාරූප දර්ශනය වූ පුද්ගලයන් අතුරින් ඝාතනයට ලක් වූ තුන්වැන්නා සාරා ය. අනෙක් දෙදෙනා වන්නේ මානව හිමිකම් නීතිඥ බෙන්ජමින් රමෝස් සහ හිටපු ප්‍රාදේශීය නිලධාරියකු වන බර්නාඩිනෝ ටෝටෝ පටිගාස් ය. ඔවුන් පිළිවෙළින් 2018දී සහ 2019දී ඝාතනය කරන ලදී.

මෙවැනි ප්‍රහාර මධ්‍යයේ පවා සාරා කිසි විටෙකත් ඇගේ කැප වීමෙන් ගිලිහී ගියේ නැත. 2019දී ඇය අභියාචනාධිකරණයෙන් ආරක්ෂණ නියෝගයක් ඉල්ලා සිටි අතර, මෙය පසුව අභියාචනාධිකරණය විසින් නිෂ්ප්‍රභ කරන ලදී. කෙසේ වෙතත්, මාස ගණනාවකට පසු 2019 ඔක්තෝබර් 31 වන දින නෙග්‍රෝස් හි සිදු කරන ලද වැටලීම් මාලාවේ දී තවත් 61 දෙනකු සමඟ ඇය ද අත්අඩංගුවට ගනු ලැබීය. තර්ජන හා බියගැන්වීම් හමුවේ පවා සාරා සන්සුන්ව හා නිර්භයව සිටියා ය. ලොව පුරා මානව හිමිකම් සංවිධානවලින් එල්ල වූ බලපෑම හමුවේ සාරාව නිදහස් කරන්නේ දින ගණනාවක් රැඳවුම් නියෝග මත රඳවාගෙන සිටීමෙන් අනතුරුව ය.

සාරා රාජ්‍ය ආරක්ෂක අංශ විසින් හෙළා දුටුව ද, ඇය සේවය කළ පුද්ගලයන් විසින් ඇයට කෙතරම් ආදරයක් හා සැලකිල්ලක් දැක්වූවාද යන්න ඇයගේ මිතුරියන්ට සහ සගයන්ට සහතික කළ හැකි ය. ඇය නෙග්‍රෝස් දූපතේ ගිය සෑම තැනකම මිනිසුන් ඇය වෙනුවෙන් දොර විවර කළ බවත්, ඇගේ ප්‍රියතම මුහුදු ආහාර පිළියෙළ කිරීමට හෝ අඩුම තරමින් ඇගේ බෑගයේ බිස්කට් නැති නොවීමට වග බලා ගත් බවත් ඔවුහු සහතික කරති.

“අපිට ආපසු හැරීමක් නැති බව හා වෙහෙස මහන්සි වී වැඩ කරන ජනතාවට පිටුපෑමට නොහැකි බව සාරා නිතරම පැවසූ බවත්, සාරාට ජනතාව කෙරෙහි නොසැලෙන කැපවීමකින් පිරුණු විශාල හදවතක් තිබුණු බවත් ඇය සමඟ සමීපව කටයුතු කළ තවත් මානව හිමිකම් ක්‍රියාකාරිනියක වන ක්ලැරිස්සා සිංසන් අන්තර්ජාල සම්මුඛ සාකච්ඡාවක දී පැවසී ය.

සාරා මරා දමන විට ඇය එකොළොස් හැවිරිදි දියණියකගේ මවකි.

“ඇයගේ දියණිය නිතරම මගෙන් අහනවා අම්මා මොකද කරන්නේ ? අම්මා කෝ කියලා. මම දැන් ඒ ප්‍රශ්නයට පිළිතුරු දෙන්නේ කොහොම ද?” ක්ලැරිස්සා සිංසන් පවසන්නී ය.

මහ මුහුදට ආදරය කළ සාරා, තම දූපතේ මිනිසුන්ගේ ආදරය වූ සාරා, 11 හැවිරිදි දියණියකට අම්මා වූ සාරා පිලිපීන ජනාධිපති ඩුටර්ටේ විවේචනය කළ නිසා එක් වැසි සහිත සන්ධ්‍යාවක දී ඔවුහු ඇයට හය වතාවක් වෙඩි තබා ඝාතනය කර දැමූහ. එහෙත්, ඇගේ ඝාතනයෙන් ඇවිළුණු ගින්න සදාකාලිකව ඇවිළෙමින් පවතිනු ඇත●

චතුර දිසානායක

Leave A Reply

Your email address will not be published.

20 − 12 =